ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී රැකියාවකට ගොස් නැවත ආපසු පැමිණ ස්වයං රැකියාවක් ආරම්භ කර පවත්වාගෙන යන කෑගල්ල දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින් තවදුරටත් ආර්ථික වශයෙන් බල ගැන්වීම පිණිස තෝරා ගත් පිරිසක් සඳහා චෙක්පත් ප්‍රදානයක් අද (18) දින පෙවරුවේ දි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රමිකයින් 30 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.25,000.00 කට යටත්ව රු 740,699 ක මුදලක් අද දින එම ශ්‍රමිකයින් වෙත් ලබා දිම සිදුකෙරිණි.

වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබඒ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙහි දී සඳහන් කළේ මෙරටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දෙන පිරිස් අතර දෙවන තැන හිමි වන්නේ විදෙස් ශ්‍රමිකයන් වන බවත් ඔවුන්ව ආරක්ෂා කිරිමත්, දිරි ගැන්වීමත් , නිසි පුහුණුවක් ලබා දීමත් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔවුනට රක්ෂණ ක්‍රම , රැකියවේ ප්‍රමිතිය මෙන්ම ආරක්ෂිත සේවා ස්ථානයක් ලබා දීමටත් ක්‍රියාමාර්ග ගත යුතු බව ය.

මෙම අවස්ථාවට එක් වූ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කලාපීය සහයෝගීතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේ පුහුණු ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ අවශ්‍යතාවය සඳහා මේ වන විට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරන අතර එම ශ්‍රමිකයින් විදෙස් ගතව මෙරටට එවන මුදල් නිසි ලෙස කලමණාකරණය කිරීමත්, එම පවුල්වල සමාජීය ගැටලු නිරාකරණය කිරිමේ නිරන්තර අවධානය යොමු කිරිම කළ යුතු බවත් ය.

මෙහි දි මෙම ප්‍රතිලාභින් අමතා සුභ පැතුම් පණිවිඩයක් එක් කළ කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ විදේශ රැකියා ශ්‍රමිකයින් සඳහා පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය ලබා දීමේ තවත් අදියරක් ලෙස මෙම චෙක් පත් ප්‍රදානය සැලකිය හැකි අතර මින් ලැබෙන ප්‍රතිලාභයෙන් රටේ ආර්ථිකය මෙන්ම පවුලේ ආර්ථිකය බල ගැන්වීමට කටයුතු කරන ලෙසත් ය.

මෙම ස්වයං රැකියා ආධාර ලබා දීමෙන් අනතුරුව නිරන්තරවම එම කටයුතු පසු විපරම් කිරීමට ද සැලසුම් කර ඇති බව මෙහි දි ප්‍රකාශ විය.

මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශිය සභා සභාපති සමන් ජයසිංහ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උප සභාපති එම්.පී තිබ්බටුමුල්ල, සහකාර කළමණාකරු මහේෂ් විතාන, කෑගල්ල දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධිකරණ නිලධාරී හරින්ද්‍ර උඩුමුල්ල යන මහත්වරුන් ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සංවර්ධන නිලධාරීන් , ප්‍රතිලාභී විගමණික ශ්‍රමිකයින් ඇතුලු නිලධාරී පිරිසක් එක්ව සිටිය හ.