කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ කරුණු විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂි කමිටු රැස්වීම ඊයේ (21) දින කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


මෙහිදී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාවය සපුරාගැනීමට අදාල ආයතන ඒකාබද්ධව කටයුතු කළයුතු බවය.


කෑගල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකර කොමසාරිස් සාගරිකා ඩී. මැදිවක මහත්මිය සඳහන් කළේ මෙ‌ම මහ කන්නයේ හෙක්ටයාර් 6703ක් වී වගාකර ඇති අතර ගොවීන් 4043 දෙනෙකුට මේ වන විට සහනාධාර පොහොර දිරි දීමනා ලබා දීමට කටයුතු කර තිබෙන බවත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3115 නිෂ්පාදනය කර තිබෙන බවත්ය.
මෙහිදී තේ, රබර් හා පොල් යන ක්ෂේත්‍රවල 2021 වර්ෂයේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය හා 2022 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති, කෘෂි ණය වැඩසටහන් හා අපනයන කෘෂි වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ද සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල ආයතන ප්‍රධානීන් හා ගොවි නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටියහ.