'සියල්ලටම ප්‍රථම දරුවන්' යන්න සමස්ත රටම ධාරණය කර ගත් වපසරියක සමස්ත ළමා පරපුරටම සමාන අයිතින් හා වරප්‍රසාදයන් විහිදි පවති ද යන්න සැලකිල්ලට ගැනිම වටී. කායික ,මානසික හා සංස්කෘතික වශයෙන් සංවර්ධනය වෙමින් ආදරය හා රැකවරණය ලබමින් සතුටින් කල් ගෙවන දරු පරපුරක් බිහි කිරිම යථාර්ථයක් බවට පත් කර ගැනිම සැමගේ වගකිමක් විය යුතු ය. ඒ අනුව දැඩි සැලකිල්ලට ලක් විය යුතු පිරිසක් වන වතු ආශ්‍රිත දරුවන්ගේ යහ පැවැත්ම පිණිස විවිධ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවති.


ඒ අනුව කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතුවල සේවය කරන පුද්ගලයිනගේ ළමුන්ගේ යහපැවැත්ම හා සංවර්ධන උදෙසා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුලුවක් අද (06) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.


මෙම අවස්ථාවට එක් වු කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා ප්‍රකාශ කළේ වැවිලි වගාව ප්‍රචලිත දිස්ත්‍රික්කයක් වන තම දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිත දරුවන්ගේ අභිවෘද්ධිය පිණිස මෙම වැඩසටහන ඉතා අර්ථවත් බව ය. සමස්ත සමාජයම වෙනස් කළ හැකි කේන්ද්‍රිය සාධකය වන්නේ අධ්‍යාපනය බවත් ඒ සඳහා අවශ්‍ය පසුබිම වතු ආශ්‍රිත දරුවන් සඳහා ද ලබා දිම අතිශය වැදගත් බවත් ය.ඒ වෙනුවෙන් දිසාපතිවරයා ලෙස තම දායකත්වය නො අඩුව ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


රටේ සමස්ත තේ නිෂ්පාදනය තුල 75% ක පමණ ආර්ථික දායකත්වයක් කුඩා තේ වතු හිමියන් හරහා සිදු වන අතර වසරකට කෝටි 400 ක පමණ විදේශ විනිමයක් ඒ ඔස්සේ මෙරටට උත්පාදනය කරයි. කුඩා තේ වතු ආශ්‍රිත පවුල් ලක්ෂ 4 ක් පවතින අතර ඉන් යැපෙන්නන් ලක්ෂ 20ක් පමණ සිටියි.ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු ආශ්‍රිත දරුවන්ගේ ආරක්ෂාව හා ඔවුනගේ ඉගෙනුම් ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ මෙහි දී අවබෝධය ලබා දුන් අතර කායික, මානසික හා ආධ්‍යාත්මික වර්ධනය සහිත බුද්ධිමත් දරුවන් බිහි කිරිමටත් ඒ සඳහා අදාල කේෂත්‍ර නිලධාරීන්ගේ අදහස් විමසා බලමින් ඔවුන් උක්ත කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරිමත් මෙහි දි සිදු විය.


මෙම වැඩසටහන දිස්ත්‍රික් ළමා හා කාන්තා අංශය විසින් සංවිධානය කරන ලදී.


මෙම අවස්ථාවට කුඩා තේ වතු සංවර්ධන පදනමේ සභාපති කේ.එල් ගුණරත්න මහතා ඇතුලු නිලධාරින්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරින්,දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී රූපා කිරගල මහත්මිය ඇතුලු දිස්ත්‍රික් ළමා හා කාන්තා අංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමා හිමිකම්, මුල් ළමා විය හා ළමාරක්ෂක නිලධාරීන්, පෙර පාසල් ගුරුභවතුන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.