දිස්ත්‍රික්කයේ කවි කිවිදියන් ඒකරාශී කිරිම,ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැංවීම මෙන්ම කවියට ඇති වටිනාකම ඉහළ නංවමින් කවි කලාව ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිට වූ දිස්ත්‍රික් මහාකාව්‍ය සම්මේලන කලාකරුවන්ගේ හමුවක් අද (20) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්_යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලේ කවි සමාජ අනුකමිටුවේ කෑගල්ල දිස්ත්‍රික් ශාඛාව සඳහා නිලධාරීන් පත්කර ගැනීම අද දින සිදු වූ අතර දිස්ත්‍රික්කයේ කවි සම්මේලනයේ ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි .


මෙහිදී අදහස් දැක්වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිත ඉලංගකෝන් මහත්මිය කියා සිටියේ නව පරපුර විසින් ප්‍රබල ලෙස වැළඳ නොගත්, එහෙත් ජීවන අත්දැකීම් භාෂා ඥානය, ඉදිරිපත් කිරීමේ හැකියාව මෙන්ම කවි කලාව රැක ගැනීම යුගයේ අවශ්‍යතාවක් බවයි .ඒ සඳහා එම කලාකරුවන් රැකබලා ගැනීමට කැපවන බවත් ඒ මහත්මිය මෙහිදී මෙහිදී වැඩිදුරටත් කියා සිටියා ය .


ජාතික මහා කාව්‍ය සම්මේලනයේ සභාපති රටේමුල්ලේ මුදන්නායක මහතාගේ කවි ගායනා සමගින් මෙම අවස්ථාව රසවත් වූ අතර ඔහු විසින් රචිත නව ග්‍රන්ථ රැසක් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියට පිළිගැන්වීම ද මෙහිදී කටයුතු කෙරිණි .


තවද කලාකරුවන්ගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීම සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කලාකරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳව පැමිණ සිටි කලාකරුවන් දැනුවත් කිරීම සමාජ ආරක්ෂණ ජේෂ්ඨ සම්බන්ධීකරණ නිළධාරිනි එස් .හේරත් මහත්මිය විසින් මෙහිදී සිදුකරන ලදී .


පැමිණ සිටි කවියන් සහ කිවිදියන්ට තම හැකියාවන් විද්‍යාමාන කරමින් කවි ගායනා ඉදිරිපත් කිරීමට කිරීමටද මෙහිදී අවස්ථාව වෙන්කර දී තිබිණි .


මෙම දිස්ත්‍රික් මහ කවි සම්මේලන හමුව සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් සංස්කෘතික නිළධාරිනී පද්මිණී වික්‍රමලතා මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසිනි .


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනයේ ලේකම් අතිපූජ්‍ය නෙළුම්දණ්ඩය විමලසාර ස්වාමීන් වහන්සේ ,දිස්ත්‍රික් සම්මේලනය සංවිධානයේ සංවිධායක පූජ්‍ය වල්පොල රතනජෝති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන් ,කෑගල්ල දිස්ත්‍රික් කවි සමාජවල සමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .