වත්මන් විදේශ රැකියා අවස්ථා පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (06)පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මහතාගේ සංකල්පයකට අනුව සිදු කෙරුණු මෙම වැඩසටහන සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පළාත් කාර්යාලයේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ සම්පත් දායකත්වය ලැබී තිබිණි.


මේ වන විට විදේශ රැකියා වෙළඳපොළෙහි ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් සඳහා පවතින ඉල්ලුම මෙන්ම ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රාලය මෙන්ම තවත් රටවල් ගණනාවක පවතින රැකියා පුරප්පාඩු හා ඒ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් සපුරා ගැනීමේ අවස්ථාවන් පිළිබඳ මෙහිදී තරුණ තරුණියන්ව දැනුවත් කරන ලදී.


දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ මග පෙන්වීම මත දිස්ත්‍රික් විදේශ රැකියා අංශයේ සම්බන්ධීකරණ නිලධාරී හරේන්ද්‍ර උඩුමුල්ල මහතාගේ සම්බන්ධීකරණය ඔස්සේ පැවති මෙම වැඩසටහනේදී තරුණ තරුණියන්ට පැවති ගැටලු ඉදිරිපත් කිරීමටත්, ඊට විසඳුම් ලබා ගැනීමටත් අවස්ථාව වෙන් වී තිබිණි.


මෙම අවස්ථාවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් ,සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළාත් විගණන කාර්යාලය ජේෂ්ඨ කළමනාකාරිණී බී.ඒ.රෝහිණි , වෘත්තීය පුහුණු අධිකාරියේ (බල්ලපාන) සහකාර අධ්‍යක්ෂ ලූතිනන් කමාන්ඩර් රවී බණ්ඩාර, විදේශ රැකියා සංවර්ධන නිලධාරි ලංකා සුමනදාස යන මහත්ම මහත්මීන්, තරුණ තරුණියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.