185539821 1476279249380300 2751811824082405918 n

 

ඊයේ (13) දිනයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන දිස්ත්‍රික්කයේ පවුල් 60 ක් අවතැන් වී පුද්ගල මරණ එකක් වාර්තා වී ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කරයි.
කෑගල්ල තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් නිවාස දෙකක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර එක් නිවසක සිටි අවුරුදු 55 ක පිරිමි පුද්ගලයේක් පස් කන්දට යටවී මිය ගොස් ඇති අතර එම නිවසේ කාන්තාව සහ හානියට පත් අනෙක් නිවසේ සිටි පුද්ගලයින් තිදෙනෙක් ගම්වාසීන් විසින් රෝහල් ගත කොට තිබේ. එමෙන්ම දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 07 පුද්ගලයින් 35 ක් අවතැන් වී ඇත.
මෙම ආපදා තත්ත්වය දැරණියගල, වරකාපොළ, යටියන්තොට සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වෙත මෙම ආපදා තත්ත්වය බලපා ඇති අතර පුද්ගල සහ දේපළ ආරක්ෂාව සඳහා සියළුම ප්‍රා දේශීය ලේකම්වරුන්ට කඩිනම් උපදෙස් ලබා දී ඇතැයි දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම මේ වන විට සිදුකරමින් සිටින අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීවරුන් , ආපදා නිලධාරීන්, පොලිසය සහ ආරක්ෂක අංශවල නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් රැසක් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බව දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සියළු කටයුතු කෝවිඩ් වසංගතය වැළැක්වීම සඳහා වන ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ සිදු කෙරේ.
ඊයේ දිනයේ කෑගල්ල දිස්ත්‍රික්කයට මි.මි 250 ක වර්ෂාවක් ලැබී ඇති අතර තවදුරටත් ආපදා තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින්නැයි දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.