ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍ය යේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සතුටින් ජීවත් වන පවුලක් ගොඩ නැංවීමේ දි අවශ්‍ය කෙරෙන මූලික අවශ්‍යතාවයක් වන හිසට සෙවනක් ලබා දීම අරමුණු කරගෙන සෞභාග්‍යා සමෘද්ධි සතියට සමගාමීව වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අඹේපුස්ස වසමේ අඩු ආදායම් සහිත සමෘද්ධිලාභී ගාමිණී කුලතුංග මහතාට රුපියල් ලක්ෂ හයක වියදමින් ඉදි කෙරුණු නව නිවස එම පවුලට අද (02) පෙරවරුවේ දී යෙදුනු සුභ මොහොතින් පවරා දීම සිදු විය.

 

මෙම අවස්ථාවට එක්වූ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා ප්‍රකාශ කළේ 2022 වර්ෂය අවසන් වන විට වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී ස්ථිර නිවසක් නො මැති සියලු දෙනාටම එම නිවාස අවශ්‍යතාවය සපුරා ලීමට කටයුතු කරන බවත්, පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේි වුව ද ජනතාවගේ සාමාජීය හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු නොපිරි හෙළා ඉටු කිරීමට කටයුතු කරන බවත් ය.

කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේ මේ වන විට වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි මූල්‍ය ආධාර යටතේ නව නිවාස 30 ක් ඉදි කර ඇති අතර ඒ ඔස්සේ සමස්ත කෑගල්ල දිස්ත්‍රික්කයේම නිවාස අවශ්‍යතාවය සහිත සමෘද්ධි පවුල් සඳහා නිවාස හිමි කර දීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරන බව ය.

මෙහි දී සමෘද්ධි ලාභී පවුල්වල උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලත් සිසු දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට වරකාපොල ප්‍රාදේශිය සභා සභාපති සරත් සුමනසූරිය ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජීව, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

samurdhi home1

samurdhi home2

samurdhi home3

samurdhi home4

samurdhi home5

samurdhi home6