ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගමින් ගමට ගොස් ජනතා අවශ්‍යතා විමසා බැලෙන නව වන ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටන පසුගිය පෙබරවාරි මස 06 වන දින දැරණියගල දික්ඇල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දි පැවැත්විණි.


එහි දී ජනතාව ඉදිරිපත් කළ ගැටලු සඳහා ලබා දී ඇති විසඳුම් පිළිබඳ විමසා බැලෙන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමක අද (07) දින පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැතුවිණි.


ඒ අනුව අධ්‍යාපන, ජල සම්පාදන හා ඉඩම් ආශ්‍රිතව සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන්හි වත්මන් තත්වය අදාල අංශ නියෝජනය කරන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී. දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාලයට දැඩි ලෙස අවශ්‍යව තිබූ භෞතික පහසුකම් රැසක් මේ වන විට ලබා දි ඇති බව මෙහි දි අනාවරණය වූ අතර පොත්දෙණිකන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම නිමාවට පත්ව ඇත.


ඊට අමතරව ප්‍රදේශයේ අනෙකුත් පාසලවල පවතින ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරමින් පවතී. මීට අමතරව ඉඩම් හා ජල පහසුකම් ලබා දීම සම්බන්ධ වත්මන් ප්‍රගතිය සාකච්ඡාවට ලක් කළ අතර ඉදිරිපත් වූ ජනතා ගැටලු සඳහා ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් තිබෙන බව මෙහි දි ප්‍රකාශ විය.


මෙම අවස්ථාවට කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් බංඩාර මැණිකේ යන මහත්ම මහත්මීන් හා කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුලු අදාල අංශ නියෝජනය කරන නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.