කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී දිස්ත්‍රික් ඉඩම් පරිහරණ හා පරිසර කමිටුව රැස් විය.

එහි දි දිස්ත්‍රික්කයේ පවතින අවශේෂ කැලෑ හඳුනා ගනිම්න් ඒවා රක්ෂිත බවට නම් කිරිම, අනවසර ඉඩම් නිරවුල් කර ගැනිම සම්බන්ධ කමිටු අනුමැති ලබා ගැනිම්, තරුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා රජයේ ඉඩම්වල ආයෝජන අවස්ථා ලබා දිම, ඉඩම් පරිහරණ කලාපීය සැලසුම්කරණය ඇතුලු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

තව ද කුඩා ඔය ආශ්‍රිතව සිදු කරන අනවසර ඉදිකිරීම් සම්බන්ධව පැන නැඟී ඇති ගැටලු, කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සමඟි පාලම අසල හිඟුල ඔයේ අනවසර ඉදි කිරීම් පිළිබඳ පැමිණිලි හා තවත් අනවසර ක්‍රියාකලාපයන් පිළිබඳ ලැබී ඇති පැමිණිලිවලට අදාල ගත හැකි පියවරයන් පිළිබඳ කරුණු විමසා බැලිණි.

එහි දී අදහස් දැක් වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් සඳහන් කළේ දැනට පවතින ඉදිකිරිම් ද ආරක්ෂා කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමත් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ දායකත්වය ලබා ගැනීමට වග බලා ගත යුතු බවත් ය.

මෙම කමිටුවේ දී "සුරකිමු ගංඟා" ජාතික වැඩසටහනට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කය තුල යටියන්තොට, බුලත්කොහුපිටිය හා කෑගල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස හරහා ව්‍යාපෘති යෝජනා 03ක් මේ වන විට ලැබී ඇති බවත් අනාවරණය විය.

එපමණක් නොව ඇල ආශ්‍රිතව පවතින වස විස හා අපවත්‍රවීම් නවතා එම ජල මූලාශ්‍ර පවිත්‍ර කිරීමටත්, නො දිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා යන්ත්‍ර සූත්‍රවල අවශ්‍යතාවය පිළිබදවත් යෝජනා පල විය.

මෙම අවස්ථාවට ගලිගමුව සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සාගරිකා මැදිවක යන මහත්ම මහත්මීන්, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ, , පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.