"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් දස වැදෑරුම් සංකල්පයෙහි අන්තර්ගත තිරසර පරිසර කළමනාකරණය සඳහා වන ප්‍රධානම වැඩසටහනක් ලෙසින් "සුරකිමු ගංඟා" ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
පරිසර සංරක්ෂණයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීමෙන් ජල සම්පත සුරක්ෂිත කිරිම මෙහි මුඛ්‍ය අපේක්ෂා වේ . ඊට අමතරව ගංඟා සංරක්ෂණය මඟින් ජනතාවට පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරිම, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරිම හා සංචාරක ප්‍රවර්ධනය ද මෙම ජාතික වැඩසටහනෙහි සෙසු අරමුණ අතර වෙයි.
ශ්‍රී ලංකාවේ ගංගා 103ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාවට නංවයි.
මෙම "සුරකිමු ගංඟා" ජාතික වැඩසටහනට අදාල දිස්ත්‍රික්ක මට්ටමින් දැනට පවතින ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් Zoom ඔස්සේ අද ( 17) දින පෙරවරුවේ පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අනුව සුරකිමු ගංඟා වැඩසටහන ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් හා සම්බන්ධ වෙමින් දැනට එම දිස්ත්‍රික් ව්‍යාපෘතින් හි පවතින ප්‍රගතිය,නව යෝජනා මෙන්ම පැන නැඟී ඇති ගැටලු ඇතුලු කරුණු රැසක් පිළිබඳව මෙහි දී කරුණු සාකච්ඡා කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ " සුරකිමු ගංඟා" වැඩසටහන පිළිබඳ ප්‍රගතිය සම්බන්ධව අදහස් ඉදිරිපත් කළ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේ දැනට කෑගල්ල දිස්ත්‍රික්කය තුල ව්‍යාපෘති 04 ක යෝජනා අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් ව්‍යාපෘතියක කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ය.
ඒ අනුව රුපියල් මිලියන 7.2 ක ප්‍රතිපාදන ඔස්සේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි ගලා බසින සියලුම ගංඟා සහ අතු ගංඟාවල පවතින නො දිරන අපද්‍රව්‍ය එකතු වීම වැලැක්විම සඳහා පළාත් පාලන ආයතන ද එක්ව නො දිරන කසළ කුට්ටි කරන බ්රෙල යන්ත්‍ර භාවිතයෙන් එම අපද්‍රව්‍ය කලමණාකරණය කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කොට පවතින බවත් ගැටලුවකින් තොරව එම කටයුතු සිදු වන බවත් මෙහි දී දිසාපතිතුමන් ප්‍රකාශ කළේ ය.
තව ද දිස්ත්‍රික්කයේ පවතින ගුරුගොඩ ඔය, කෑගලු ඹය හා කැළණි ගඟ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කිරීමට අදාල ව්‍යාපෘති යෝජනා 03ක් ද අනුමැතිය සඳහා යොමු කර ඇති බවත් එම අනුමැතීන් ලැබුන විගස එම කටයුතු ආරම්භ කිරිමට තමන් සූදානම් බවත් දිස්ත්‍රික් ලේකම්තුමන් මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඒ අනුව මෙම සාකච්ඡාවේ දි ගරු අමාත්‍යතුමන් සඳහන් කළේ ඉතාමත් කඩිනම්න් ඉදිරි වසර කිහිපය තුල ගංඟා 103ම සාර්ථක ලෙස සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරනා බව ය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂකවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.


















