ගමින් ගමට ගොස් ජනතා අවශ්‍යතා විමසා බැලෙන " ගම සමඟ පිළිසඳර" වැඩසටහනෙහි නව වන අදියර කෑගල්ල දිස්ත්‍රික්කයේ දික්ඇල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දි පෙබරවාරි මස 06 වන දින පැවති අතර එහි ප්‍රගතිය මාසික විමසා බැලෙන හමුවක් Zoom ඔස්සේ ඊයේ (12) දින පෙරවරුවේ දි පැවැත්විණි.

එහි දි දැරණියගල දික්ඇල්ල කන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ක්‍රියාත්මක ජල , ඉඩම්, අධ්‍යාපන, පාලම් ඉදි කිරිම්, මාර්ග සංවර්ධන , සනීපාරක්ෂක හා පොදු කටයුතු සංවර්ධන ව්‍යාපෘතීන්හි වත්මන් ප්‍රගතිය ඒ ඒ අංශයන්හි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව මාර්ග 94 ක ව්‍යාපෘති සඳහා මිලියන 5804ක මුදලක් ඇස්තමේන්තු ගත කොට ඇති අතර මාර්ග 27 ක ටෙන්ඩර් කටයුතු අවසන් කර ඇති ඇත . මාර්ග 59 ක ශකයතා අධ්‍යන කිරීමට නියමිත බවත්, මේ වන විට බොහෝ මාර්ගයන්හි සංවර්ධන කටයුතු ආරම්භ කොට වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ප්‍රකාශ විය. තවද ප්‍රදේශයේ පාලම් 29 ක් සඳහා ව්‍යාපාති යෝජනා ඉදිරිපත් වි ඇති අතර පාලම් 16ක් මේ වන විටත් ඇස්තමේන්තු ගත කර ඇති අතර පාලම් 18 ක් සඳහා ටෙන්ඩර් කැඳවිමේ කටයුතු සිදු වෙමින් පවති.

WaSSIP ව්‍යාපෘතියද සම්බන්ධ කරමින් වැසිකිළි පද්ධති ඉදි කිරිමට කටයුතු කිරිම පිළිබඳව ද මෙහි දි අවධානය යොමු වු අතර පානීය ජල ව්‍යාපෘති 40 ක පමන යෝජනා පවතින බව මෙහි දි සඳහන් විය.ප්‍රජා ජල ව්‍යාපති යටතේ ප්‍රධාන ලෙස යෝජනා 03 කටයුතු සිදු වන අතර දික් ඇල්ල කන්ද පානිය ජල ව්‍යාපෘතියේ කටයුතු ඉදිරි තෙමස තුල අවසන් කිරිමට හැකි වන බවත්, මාලිබොඩවත්ත ජල ව්‍යාපෘතිය සඳහා වු ඇස්තමේන්තු කටයුතු මේ වන විට සිදු වන බවත් මෙම ව්‍යාපෘතින් ඔස්සේ දැරණියගල විශාල ප්‍රදේශයක් ආවරණය වන බවත් ප්‍රකාශ විය.

මෙම හමුවේ දි ඉඩම් ප්‍රතිසංස්කරන කොම්ෂන් සභාව හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශයේ ඉඩම් ගැටලු 15ක් විසඳීම සඳහා යුහුසුලුව ක්‍රියාත්මක වන බව පැවසුනු අතර පුවක්මල් ඇල්ල ශ්‍රී දේවගිරි ආරණ්‍ය සේනාසනය සඳහා අදාල පූජා භූමි ඔප්පුව ලබා දිම, මාලිබොඩ ඔරුපීල්ලගම ඉඩම්වලට මායිම් නිරවුල් කිරිම, අස්ගලපල්හේන ඉඩම්වල පදිංචිකරුවන් සඳහා බලපත්‍ර ලබා දීම ඇතුලු ගැටලු රැසක් සඳහා ගෙන ඇති පියවරයන් විමසා බැලූ අතර මාලිබොඩ අක්කර 3ක පමණ කොටසක් පවරා ගෙන පොදු කටයුතු වෙනුවෙන් කුඩා නගරයක් ලෙසින් සකසා සංවර්ධන කටයුතු සිදු කිරිමට අවශය පියවර ගැනීමට ඉදිරියේ දි සාකච්ඡාවක් කැඳවා පියවර ගැනීමට කටයුතු කරන බව ද ප්‍රකාශ විය.

මෙම හමුවේ දි අදහස් දැක්වූ කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ අතිගරු ජනාධිපතිතුමන්ගේ පැමිණීමෙන් ආරම්භ වුනු මෙම "ගම සමඟ පිළිසඳර " වැඩසටහනට අදාල ඉලක්ක සාක්ෂාත් කර ගැනිම සඳහා සියලු දෙනාගේ සහය අපේක්ෂ කරන බවත් ජනතාවගේ ජිවන තත්වන උසස් කරමින් සමස්ත දිස්ත්‍රික්කයම නඟා සිටුවිමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් ය.

මෙම අවස්ථාවට වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ ය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ගම සමඟ පිළිසඳර ලේකම් කාර්යාලයේ ලේකම් කරුණාරත්න, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ විරකෝන්, දැරණියගල ප්‍රාදේශිය ලේකම් බංඩාර මැණිකේ යන මහත්ම මහත්මීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු ඇතුලු අදාල අංශයන් නියෝජනය කරන නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.