ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන වැසිකිළි වැඩසටහන (WaSSip) පිළිබඳ ප්‍රගතිය විමසා බැලෙන හමුවක් අද (02) පෙරවරුවේ දී කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි. 2021 වසර අවසානය වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුල අවසන් කිරිමට අපේක්ෂිත සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය තුල වසම් 11ම ආවරණය වන පරිදි වැසිකිළි 4066 ක් ඉදි කිරීම සිදු වන අතර මෙම වසර අවසන් වීමට පෙර එම ඉලක්කය හැකි උපරිම අයුරින් අවසන් කිරිමට මෙහි දි කටයුතු සැලසුම් කෙරිණි.

මෙම අවස්ථාවට එක් වූ කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කය තුල පවතින ප්‍රධානතම ගැටලුවක් සඳහා පිළියම් ලෙස මෙම WaSSip ව්‍යාපෘතිය සැලකෙන අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි ඒ ඒ දිස්ත්‍රික්කවලට ලැබෙන විවිධ රාජ්‍ය හා රාජ්‍ය නො වන ව්‍යාපෘතින් සඳහා රජයේ ආයතන ලෙස එම ප්‍රතිපාදන තමන්ගේ දිස්ත්‍රික්කයට සම්පූර්ණ ලෙස ලබා ගෙන ජන ජීවිතය ඔසවා තැබීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බව ය.තවද ගැටලු පැන නැඟි ඇති වැඩ කටයුතු සිදු වන වැසිකිළි කටයුතු නිරීක්ෂණය සඳහා මෙම සතිය තුලම ප්‍රාදේශීය ලේකම්වරුන් හා අදාල නිලධාරීන් එක්ව කේෂත්‍ර පරික්ෂාවකට කටයුතු කරන ලෙස ද දිසාපතිතුමන් මෙහි දි උපදෙස් ලබා දුන්නේ ය.
අදියර 3ක් ඔස්සේ ක්‍රියාත්මක මෙම වැසිකිළි වැඩසටහන ප්‍රජා ජල සමිති හා සමෘද්ධි බැංකු හරහා ක්‍රියාවට නැංවේ.

ඒ අනුව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 61 සඳහා වැසිකිළි 508ක්, වරකාපොල වසම් 23 ක් සඳහා 293 ක් ද, අරණාලක වසම් 21 සඳහා 241 ද , මාවනැල්ල වසම් 22ක් සඳහා 283 ක් ද, රඹුක්කන වසම් 35ක් සඳහා 109 ක් ද, ගලිගමුව වසම් 51 සඳහා 718 ක් ද, බුලත්කොහුපිටිය වසම් 12ක සඳහා 199ක ද, දෙහිඕවිට වසම් 26ක සඳහා 252ක් ද, රුවන්වැල්ල වසම් 36ක් සඳහා 391ක් ද, යටියන්තොට වසම් 16ක සඳහා 430 ක් ද, දැරණියගල වසම් 26ක් සඳහා 632ක ද ලෙස වැසිකිලි ඉදිකිරිමට කටයුතු කර ඇත.

මෙම ප්‍රගතිය විමසා බැලීම සඳහා එක් වු WaSSip ව්‍යාපෘති අධ්‍යක්ෂ, බස්නාහිර පළාත් ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. යූ.කේ රණතුංග මහතා මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා පැන නැඟි ඇති ගැටලු සඳහා ඒ මොහොතේම විසඳුම් ලබා දිමට කටයුතු කළේ ය. ඒ අතර ප්‍රතිලාභින්ට තම ගිණුම වෙත බැර කෙරෙන මුදල් බැංකු හරහා ලබා ගැනීමේ දි ඇති වන අවහිරතා වැලැක්විමට අවශ්‍ය කටයුතු සිදු කළ අතර ව්‍යාපෘතියේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා යම් පරිපාලන වියදමක් මෙන්ම කේෂත්‍ර නිලධාරින් සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දිම කෙරෙහි ද මෙහි දි විසඳුම් ලබා දිමට කටයුතු සැලසුම් කෙරිණි.

මෙම අවස්ථාවට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර සාමාන්‍යාධිකාරී (සමාජ විද්‍යා), දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරුන් සහකාර ප්‍රාදේශීය ලේකමවරුවන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සැලසුම් අධ්‍යක්ෂවරුන්, කාර්මික නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.