කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ක්‍රියාත්මක මාර්ග, ජල සම්පාදන හා කෘෂි, ගොවිජන සංවර්ධන හා කාබනික පොහොර යන විෂය පථයන්ට අදාල වැඩසටහන්හි ප්‍රගතිය හා පැන නැඟි ඇති ගැටලු පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් අනු කමිටුව අද (29) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

එහි දි පහල කඩුගන්නාව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම, කෑගල්ල සියඹලාපිටිය මාර්ගය, යටියන්තොට බෙරන්වාව පාලම , යටියන්තොට මහවිල අනතුරුදායක ගල් ඉවත් කිරිම, මහනුවර අධිවේගී මාර්ගයේ දෙවන අදියර, වරකාපොල විකල්ප මාර්ග සංවර්ධනය, මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන, පස්යාල - කඩුගන්නාව මාර්ගය සංවර්ධන කිරිම සහ "ගම සමඟ පිළිසඳර" වැඩසටහනට අදාල මාර්ග හා පාලම් ව්‍යාපෘති වැඩසහනට අදාල වත්මන් ක්‍රියාකාරිත්වය හා පළාත් මාර්ග සම්බන්ධව මෙහි දි කරුණු විමසා බැලිම සිදු විය.

වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙම අවස්ථාවට එක් වෙමින් සඳහන් කළේ රජය මඟින් ක්‍රියාත්මක කෙරෙන කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනා බව ය. තවදුරටත් ඒ මහතා සඳහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනය සිදු කිරිම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සමස්ථ කෑගල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්විය යුතු බවත් ඊට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, ග්‍රාමිය කමිටු සම්බන්ධ කර ගත යුතු බවත් ය.

ජල සම්පාදන ජලාපවහන මණ්ඩලයේ කටයුතු, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරිම ව්‍යාපෘතියට අදාල කටයුතු යන විෂය කේෂත්‍රය පිළිබඳව මෙහිදී අවධානය යොමු වු අතර දැනට දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කාබනික පොහොර වැඩසටහන තුල වත්මන් ප්‍රගතිය දිර්ඝව කරුණු සොයා බැලිණි.

මෙහි දි අදහස් දැක් වූ කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා කියා සිටියේ දිස්ත්‍රික්කයේ මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 95ක් මේ වන විට ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් ව්‍යාපෘති 93ක මිනුම් කටයුතු අවසන් කර ඇති බවත්, ඉන් 92ක ඇස්තමේන්තු කටයුතු අවසන් කර ඇති බවත් ය. ඒ අනුව මාර්ග 16 ක ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය.

මීට අමතරව ගොවිජන සංවර්ධන වැඩසටහන්, කෘෂි රක්ෂණ මණ්ඩලයට අදාලව පවතින ගැටලු හා තේ, රබර්, පොල් හා සුළු අපනයන භෝග වගා වැඩසටහන් යන අංශ කෙරෙහි ද මෙම කමිටුවේ දි අවධානය යොමු විය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්ත් මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ විරකෝන්,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද මහත්ම මහත්මීන් සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්, ඒ ඒ විෂයන්ට අදාල රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.