ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීමට විවිධ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවති.
සෞභ්යාග්යා නිෂ්පාදන ගම්මාන 11 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ම ආවරණය වන පරිදි මේ වන විට ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 91 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර සමස්ථ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2113 පමණ වේ. අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව 25 කි. තවද පොදු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 75 ක් සඳහා රුපියල් මිලියන 79 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
සෞභාග්‍යා නිෂ්පාදන සතියට සමගාමීව රඹුක්කන, මොළගොඩ මැටි කර්මාන්ත ගම්මානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පොදු යටිතල පහසුකම් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 36 වටිනා උපකරණ ලබාදීම ඊයේ (20) දින සිදුකෙරිණි. මෙම උපකරණ අතර විදුලි සකපෝරු 21 ලබා දීම, වැඩ මඩු ඉදිකිරීම් 8 ක්, පෝරණු ඉදිකිරීමි 17 ක්, මැටි පදන් කිරීමේ යන්ත්‍ර 4 ක් ලබාදීම සිදුවිය.
වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කළේ මෙම කර්මාන්තයේ නියැලී ව්‍යවසායකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙම උපකරණ ලබාදීම ප්‍රධාන අරමුණ බවය. ඒ සඳහා දේශීය වෙළඳපල තවදුරටත් වර්ධනය කිරීමට මෙන්ම නව විදේශීය වෙළඳපලවල් අත්පත් තර ගැනීමටද ඉදිරියේ දී කටයුතු කරන බවයි.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා මෙහිදී සඳහන් කළේ ග්‍රාමීය ව්‍යවසායකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුලින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වන බවයි.
මෙම අවස්ථාවට රඹුක්කන ප්‍රාදේශීය සභා සභාපති අතුල හඳගම මහතා ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය හා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ, දිස්ත්‍රික් සැළසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන්, නියෝජ්‍ය සැළසුම් අධ්යක්ෂ ජනනි මදුරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු ප්‍රතිලාභින් පිරිසක් සහභාගි වී සිටියහ.





















