විදේශ රැකියාවන්හි නිරත විගමණික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව, සුභසාධනය මෙන්ම විදේශ රැකියා ප්‍රවර්ධනය උදෙසා කටයුතු කරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔස්සේ සිදු කරන අතර එම විගමනික පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි.


ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් අතරින් පහ වසර ශිෂ්‍යත්වය, (අ.පො.ස )සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත්ව සරසවි වරම් ලැබූ පිරිස් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවක් අද (08) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
සමස්ථ දිවයින ම ආවරණය වන පරිදි 1996 වසරේදී ආරම්භ කළ මෙම විගමණික ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන වසරක් පාසා අඛණ්ඩව දියත් වන අතර මේ වන විට 45,000 කට ආසන්න ශිෂ්‍යත්ව දැයේ දරුවන්ට ලබා දී ඇත .


ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දරුවන් 220 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අද දින සිදු කෙරිණි .


මෙහිදී අදහස් දැක්වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිත ඉලංගකෝන් මහත්මිය ශිෂ්‍යාධාර ලැබූ දරුවන්ට සුභාශිංශනය එක් කළ අතර එම පවුල් වල අනෙකුත් දරුවන් ද මෙවැනි ආදර්ශයන් ඔස්සේ තම අධ්‍යයන කඩඉම ජය ගැනීමට කටයුතු කළ යුතු බව සඳහන් කළාය.තවද පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත වීමේ අවස්ථාවන් ප්‍රසාරණය වී ඇති බවත් ඒ අනුව පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ පහසුකම් වර්තමානය තුල පුළුල් වී ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.


එම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සහකාර ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මාධව දේශප්‍රිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී( සමාජ සංවර්ධන) තරංග හෙට්ටිආරච්චි, සබරගමු පළාත් කාර්යාලය කලමනාකරු මහේෂ් ප්‍රියන්ත , දිස්ත්‍රික් විදේශ රැකියා ප්‍රවර්ධන සම්බන්ධීකරණ නිලධාරි ලෙස්ලි උඩමුල්ල යන මහත්ම මහත්මීන්, විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන්, දිස්ත්‍රික් විදේශ රැකියා අංශයේ නිලධාරීන් ,විගමණික පවුල්වල සාමාජිකයන්, දූ දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.