කෑගල්ල දිස්ත්‍රික්කය තුළ නීතිය හා සාමය ආරක්ෂා කර ගනිමින් ජන ජීවිතය අඩාල නොවන පරිදි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව කරුණු විමසා බැලෙන විශේෂ හමුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (13) දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය දිනයන්හි රටේ පැවති ප්‍රචණ්ඩකාරී තත්වය මේ වන විට බොහෝ දුරට සමනය වී ඇති අතර ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා හැකි සෑම පියවරක්ම ගත යුතු බවත් , කෑගල්ල දිස්ත්‍රික්කය වැවිලි කර්මාන්තය මුල් කරගත් දිස්ත්‍රික්කයක් බැවින් එම කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යටිතල පහසුකම් සැපයීමේදි විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් දිස්ත්‍රික් ලේකම්තුමන් වැඩි දුරටත් පැවසීය.
දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමේදි ඒ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම, විදුලිය හා ජලය සැපයිම පිළිබදව දැනට මතුවී ඇති ගැටලු හා ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ගයන් පිළිබඳව අදාල ආයතනයන්හි ප්‍රධානීන් සමග සාකච්ඡා කෙරිණි.
දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය මෙහිදී යොමු විය. රෝහල තුල ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රමාණවත් ඖෂධ පවතින අතර සායනික සේවාවන් සඳහා ඇතැම් ඖෂධ වල හිගයක් පවතින අතර පරිත්‍යාගශීලීන්ට එම ඖෂධ ලබා දිමේ හැකියාවක් පවතින බව රෝහල් අධ්‍යක්ෂතුමිය මෙහි දී සඳහන් කළාය.
දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්වය දැනට සතුටුදායක මට්ටමක පැවතියත් ප්‍රාදේශීය හා ග්‍රාමීය ආරක්ෂක කමිටු සක්‍රීය කිරිම මගින් වඩාත් ආරක්ෂාකාරී තත්වයක් ඇති කිරිමේ හැකියාව මෙහිදි සාකච්ඡා කෙරිණි. හදිසි නිතිය හා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී ප්‍රචන්ඩකාරී කටයුතුවලින් ඉවත්වී නීතිගරුකව කටයුතු කිරිමේ අවශ්‍යතාවය ආරක්ෂක අංශ මගින් මෙහිදි පෙන්වා දුන්නේ ය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ. පො. ස (සා. පෙ) විභාගය කෑගල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 156 කදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් පවතින බව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය සඳහන් කළාය. මේ දින වල වර්ධනය වෙමින් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යම් කිසි ආපදා තත්වයක් විභාග මධ්‍යස්ථානයකට ඇති වුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව අවධානය මෙහිදි යොමු විය.
රට මුහුණදී සිටින ගැටලු සහගත අවස්ථාවේදී , කලහකාරී කටයුතු වලින් ඉවත් වී සාමය හා නීතිගරුක බව ඇති කිරිමට එක්වන මෙන් ජනතාව ඇනුවත් කිරිමට කටයුතු කරන බව මේ අවස්ථාවට එක් වෙමින් සර්ව ආගමික උතුමන් වහන්සේලා දන්වා සිටියහ.
මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස්. රත්නායක, ආරක්ෂක අංශ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක් වුහ.






















