ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස ආහාර සුරක්ෂිතාවය තහවුරු කිරීම සඳහා ඒ සම්බන්ධ සියළුදෙනා ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කරයි. විශේෂයෙන් දිස්ත්‍රික්කයේ ආහාර අර්බුදය හමුවේ ප්‍රජාවගේ ජීවන පැවැත්ම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා අවධාරණය කළේය. කෑගල්ල දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අද (24) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති වැඩසටහනේ මුලසුන හොබවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.


දිස්ත්‍රික්කයේ හරිත ගෙවතු වැඩසටහන , ආහාර සුරක්ෂිතාවය ඇති කිරීමේ ඒකාබද්ධ වැඩසටහන හා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මඟින් ඉදිරිපත් කර ඇති සාර ශ්‍රී ලංකා ඒකාබද්ධ සහභාගීත්ව සංවර්ධන වැඩසටහන යන කෘෂිකාර්මික වැඩසටහන් ඒකාබද්ධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණි.


ආහාර අර්බුදය හමුමේ ප්‍රජාව වගා කටයුතු සඳහා යොමු කිරීම, වගා නොකරන ලද දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් විධිමත් අයුරින් වගා කටයුතු සඳහා යෙදවීම පාසල් වල හා ආගමික ස්ථානයන්හි භාවිතා නොකරන ඉඩකඩ වගා කටයුතු සඳහා භාවිතය, පසු අස්වනු නාස්තිය අවම කිරීම හා අතිරික්ත ආහාර සංරක්ෂණය කිරීම, විකල්ප බලශක්ති අවස්ථාවන් මහජනතාව තුළ ප්‍රචලිත කිරීම වැනි කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා, විශේෂයෙන් මේ සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වල නිෂ්පාදන ප්‍රගතිය මැන බැලීම හා ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතු බව ද අවධාරණය කළේය.
එමෙන්ම විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයන දිරි ගැන්වීමේ වැඩසටහන් සකස් කිරීම, ඒ සඳහා දිස්ත්‍රික්කය තුළ ශිල්පීය දක්ෂතාවයන් හඳුනාගනිමින් වැඩිදියුණු කිරීම කෙරෙහි සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.


මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂක ඒ.ඒ. වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ටී.ඒ.පී. කුසුම්සිරි, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.පී.එන්.එල්. රාජපක්ෂ, ගොවිජන සේවා සහකාර සංවර්ධන කොමසාරිස් (දෙපාර්තමේන්තු) පුෂ්පා වීරසේකර මැණිකේ, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරුන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්, මානව සම්පත් සංවර්ධන නිලධාරීන්, වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්, විදාතා සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.