කෑගල්ල දිස්ත්‍රික්කයේ වසා දැමූ පාසල් පරිශ්‍රයන් තුළ කෙටි කාලීන ආහාර බෝග වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
ඒ අනුව එළඹෙන 22 වැනි සිකුරාදා මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කරන බව දිස්ත්‍රික් කෘෂි කමිටුවට සහභාගී වෙමින් කෑගල්ල මහ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය. මෙම වැඩසටහන යටතේ මූලික අදියරේ දී මඤඤොක්කා සහ බතල දඩු සිටුවීමට අපේක්ෂා කෙරේ.
මෙම වගා වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කොට ඇති ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් , දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් සහ බහුකාර්ය සංවර්ධන බලකාය ඒකාබද්ධව දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදු කිරීමට නියමිතය.
එමෙන්ම 29 වැනි සිකුරාදා දින දිස්ත්‍රික්කයේ ආගමික ස්ථානයන් සතු වගා නොකළ ඉඩම් වල වගා කිරීමේ වැඩසටහනක් ද මීට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය. එම වැඩසටහන සඳහා බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් හා සංස්කෘතික නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකමිටුව අද (26) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයේ ආරම්භ කෙරුණ අතර මෙහි දී ‘එක්ව වවමු - රට දිනවමු‘ ආහාර බෝග නිෂ්පාදන ජාතික වැඩසටහනේ දිස්ත්‍රික් ප්‍රගතිය සාකච්ඡාවට ලක් කෙරිණි.
ගෙවතු වගා වැඩසටහන, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම, බීජ හා කෘෂිකාර්මික යෙදවුම් බෙදා දීම, දේශීය ආහාර ප්‍රවර්ධනය, සමෝධාන ගොවිපොළවල් සැකසීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහි දී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ විදාතා සම්පත් මධ්‍යස්ථාන මැදිහත්ව ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් මෙහි දී විශේෂ අවධානයට ලක් කෙරිණි. දිස්ත්‍රික්කයේ වැවිලි සමාගම්වල වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා වතු ප්‍රජාවට ලබා දීම, පුරන් කුඹුරු වගා කටයුතු සඳහා යොදා ගැනීම, පොහොර බෙදා හැරීමේ දිස්ත්‍රික් වැඩසටහන, දිස්ත්‍රික්කයේ අපනයන දිරිමත් කිරීම, මිරිදිය මත්ස්‍ය වගා ප්‍රවර්ධනය සහ සීත දේශගුණයක් පවතින ප්‍රදේශවල උඩරට එළවළු ප්‍රචලිත කිරීම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් කෘෂි කමිටුවේ අවධානයට යොමු විය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් ටී.ඒ පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු, ගොවි නියොජිතයින් ඇතුළු කෘෂිකර්ම අංශයට සම්බන්ධ නිලධාරීන් රැසක් සහභාගී වූහ.



















