කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සෑම වසරකම ජූලි 14 සිට 21 දක්වා වූ සතිය මුල් ළමාවිය ජාතික ළමා සතිය ලෙස නම් කරයි.


ඒ යටතේ මුල් ළමා වියේ පසුවන දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඊට සමගාමීව යමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් යන දරුවන් අතරින් 2023 වසරේ පළමු වසරට පියනගන තෝරාගත් දරුවන් 112 ක ට පාසල් උපකරණ කට්ටල ලබාදීමට කටයුතු කෙරිණි .


කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් 10 දෙනෙකු සඳහා සංකේතාත්මකව එම පාසල් උපකරණ කට්ටල ලබාදීම අද (27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස්. විරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .


එහිදී අදහස් දැක්වූ දිසාපතිවරයා ප්‍රකාශ කළේ යහපත් ගුණ ගරුක දරුවන් සමාජගත කිරීමේ ප්‍රධානතම වගකීම දෙමාපියන්ට/ භාරකරුවන්ට පවතින බවයි .නිදහස් අධ්‍යාපනයක් හිමි මෙවැනි රටක් තුළ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙමින් උසස් වෘත්තිකයෙකු බිහිකිරීම සඳහා අවැසි වටපිටාවෙහි නිසි ඵල නෙළා ගැනීම සැමගේ වගකීමක් වන බවයි .තවදුරටත් අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්තුමන් කියා සිටියේ තොරතුරු තාක්ෂණය කාර්මික ශිල්පය මෝස්තර හා ඇඟලුම් ක්ෂේත්‍ර වැනි සාම්ප්‍රදායික නොවන අංශ රැසක ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් බිහි වෙමින් පවතින යුගයක දරුවන් එවැනි ක්ෂේත්‍ර වෙත යොමු කරමින් ඵලදායී පුරවැසි බිහි කිරීමට කටයුතු කිරීම වැදගත් වන බවයි .


මෙම අධ්‍යාපන මෙවලම් හිමි වූ දරුවන් දෙමාපියන් අහිමි හෝ භාරකරුවකු යටතේ හැදී වැඩෙන දරුවන් වන අතර ඔවුන් තෝරා ගැනීම සදහා එම දරුවන්ගේ පෙර පාසල් ගුරුවරියන්ගේද සහාය ලැබුණු අතර දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි .


එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිත ඉලංගකෝන්, දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිළධාරිනි භද්‍ර අබේවික්‍රම යන මහත්මීන් ඇතුළු එම අංශයේ නිලධාරීන්, දෙමව්පියන්, භාරකරුවන්, දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.