කොරියානු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අන්තර් ජාතික සෙමාවුල් ව්‍යාපෘතිය යටතේ කෑගල්ල දිස්ත්‍රිකයේ නයි මිරිස් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා මූලික වටයේ සාකච්ඡාවක් අද (16) කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තෝරා ගෙන ඇති අතර සමීක්ෂණයකින් අනතුරුව ප්‍රතිලාභී ගොවීන් හඳුනාගැනීම සිදු කිරීමට නියමිතව තිබේ.
විදේශීය හා දේශීය වෙළඳපල ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
අන්තර් ජාතික සෙමාවුල් පදනමේ ආධාර මත කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිම්මල් වගා ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක වන අතර එම ව්‍යාපෘතිය හේතුවෙන් රඹුක්කන කොට්ඨාසයේ ප්‍රතිලාභී පවුල් වල ජීවන තත්ත්වය වඩාත් උසස් වී ඇත.
විශේෂයෙන්ම ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය ඉපයීම සඳහා මෙවැනි වැඩසටහන් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වන බව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා සෙමාවුල් පදනමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Choi Sung Woo, සම්බන්ධීකරණ කළමනාකරු විරාජ් සම්පත්, පර්යේෂණ සහ පාලන අධ්‍යක්ෂ කුෂාන් හපුආරච්චි, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, පළාත් කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ නිලන්ති විජේසිංහ යන මහත්ම මහත්මීන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


















