වෙළඳපොලේ පවතින සහල්, පාලන මිලට වඩා වැඩියෙන් විකුණ වෙළඳුන් 40ක් පමණ නීතියේ රැහැනට හසුකරගැනීමට පසුගිය දිනවල දී කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් සමත් විය .කෑගල්ල ,මාවනැල්ල, වරකාපොළ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල යන අධිකරණවල නඩු පැවරීම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර ඉදිරි මාසවල ද ඒ සම්බන්ද නඩු පැවරීම් දිගින් දිගටම සිදුකිරීමට ද පාරිභෝගික සේවා අධිකාරිය බලාපොරොත්තු වේ.
කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ නිරන්තර මගපෙන්වීමත්, නිලධාරීන් උනන්දු කරවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම් නිරන්තරයෙන්ම දිස්ත්‍රික්කය තුළ සිදුවෙමින් පවතී.
මේ අතර වෙළඳපොලේ පවතින බිත්තර, පාලන මිලට විකිණීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සති අන්ත නිවාඩු දිනවලදී සිදු කරන අතර ඉදිරි දිනවලදී මේ සම්බන්ධයෙන් වැරදි කරන සියලුම වෙළඳුන් තරාතිරම නොබලා නීතියට හසු කර ගැනීමට ද කටයුතු කිරීමට නියමිතයි.
ගෑස්, ඉන්ධන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කරමින් එම නීති උල්ලංඝනය කරන වෙළඳුන් හසුකර ගැනීමට ද එම අධිකාරිය මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටී.
පවතින මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිනීම, භාණ්ඩ මිළ ප්‍රදර්ශනය නොකිරීම, භාණ්ඩයන්හි ලේබල් වෙනස් කිරීම ඇතුළු පාරිභෝගික පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා සහ මහා පරිමාණ වෙළඳ සැල් 160 ක් අධිකරණයට ඉදිරිපත් කර රු.669,500.00 ක දඩ මුදල් ප්‍රමාණයක් රජයට අය කර දීමට ද මේ වන විට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය සමත්ව ඇත.
















