පවතින සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන නිසි පරිදි අධ්‍යාපනය හදාරා රටට වැඩදායී , යහපත් ගුණගරුක පුරවැසියකු වීමට කටයුතු කළ යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. කෑගල්ල දිසාපතිවරයා මෙසේ සදහන් කළේ තුල්හිරිය ධර්මසිරි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ (23) පැවති නවෝත්පාදන නිර්මාණ ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමේ උත්සවයකට සහභාගී වෙමිනි.


විශේෂයෙන්ම රටේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් පාසල් දරුවන් තුළ නව නිපයුම් නිර්මාණ කාර්යය පිළිබඳ අදහස් ජනනය කිරීම වඩා වැදගත් බව ද ඒ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.


තවදුරටත් දිසාපතිවරයා මෙහි දී සඳහන් කළේ පළාත් අධ්‍යාපන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ වසර 10 තුළ දී මෙම පාසලට ලබා දුන් භෞතික හා මානව සම්පත් විදුහල්පතිතුමන් විසින් නිසියාකාරයට ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීම මඟින් විශ්වවිද්‍යාල වලට ප්‍රවේශ වෙන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව තමන් අතිශය සතුටට පත්වන බවයි.


මෙම වැඩසටහන තුළ දී ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් මඟින් අන්තර්ජාලයෙන් නීත්‍යානූකූලව මුදල් ඉපයීම, රිලව් - මිනිස් ගැටුම සමථයකට පත් කර ගැනීමට කටයුතු කිරීම , බලශක්ති ගැටළුව , ආර්ථික බෝග වගා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කිරීම කාලෝචිත වැඩසටහනක් බව දිසාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


මෙම අවස්ථාවට වරකාපොළ ප්‍රාදේශීය ලේකම් රංගන සජීව, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්වරුන් ඇතුළු ධර්මසිරි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.