×

Message

Invalid Page Request

රබර් වගාව ප්‍රචලිතම දිස්ත්‍රික්කයක් වන කෑගල්ල දිස්ත්‍රික්කය තුල රබර් වගාවෙහි නියැලෙන වගාකරුවන්ට බලපා ඇති ගැටලු පිළිබඳ විමසා බැලෙන විශේෂ හමුවක් අද (09) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.


එම හමුවේ දී රබර් වගාකරුවන්ගේ හා ආශ්‍රිත යැපෙන්නන්ගේ සංගමය විසින් පවතින රබර් මිල පවතින ආර්ථික තත්වය හමුවේ ඉහළ නැංවීම, රබර් සඳහා ස්ථාවර මිලක් ඇති කිරීමේ අවශ්‍යතාවය, පුහුණු කිරි කපන්නන්ගේ හිඟය හා පුහුණු අවස්ථා ඇති කිරීම, කිරි කපන්නන් වෙනත් වෘත්තීන්වලට යොමු වීම, අමු රබර් කිරි එකතු කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරිම, දුම් කාමර හිමියන්ට ප්‍රමතියෙන් ඉහළ රබර් නිපදිවීමේ දැනුම අවම වීම, රබර් වගාව ආශ්‍රිතව පවතින පාරසරික ගැටලු ඇතුලු කරුණු රැසක් පිළිබඳ නිලධාරීන් දැනුවත් කරන ලදි.


එහිදි අදහස් දැක් වූ දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා කියා සිටියේ ගුණාත්මක රබර් පැළ නිකුත් කිරිම සඳහා දිස්ත්‍රික්කය තුල ප්‍රාදේශීය මට්ටමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරිමට කටයුතු කරනා බවයි. රට තුල රබර් වගාව හොඳින් සිදු වන දිස්ත්‍රික්කයක් ලෙස එම වගාව ආරක්ෂා කිරීමට තමන් සෑම පියවරක්ම ගැනීමට කැප වන බවත් දිසාපතිතුමන් එහි දි වැඩි දුරටත් කියා සිටියේ ය.


මේ වන විට කෘෂි රක්ෂණ මණ්ඩලය එක්ව රබර් කිරි කපන්නන් සඳහා දීමනාවක් ලබා දිමට යෝජනා ඉදිරිපත්ව ඇති බවත්, රබර් සඳහා සාධාරණ මිලක් ඇති කිරීම සඳහා අනු කමිටුවක් අද දින රැස්වීමට නියමිත බවත් අනාවරණය විය. මෙම හමුවේ දී ප්‍රාදේශීය මට්ටමින් රබර් වගාවෙහි පවතින අර්බූද විසඳීම සඳහා රබර් පැළවල ගුණාත්මකභාවය වැඩි කිරිම, පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීමට පුහුණු අවස්ථා ඇති කිරිම, ඒ ඒ ආයතවල සම්බන්ධීකරණ යාන්ත්‍රණය වැඩි කිරිම ඇතුලු ගත හැකි විසදුම් පිළිබඳව මෙන්ම ජාතික මට්ටමින් රබර් මිල ස්ථාවර කිරිම , රබර් ආශ්‍රිත අපනයන සීමා , රබර් වගාකරුවන්ගේ සුබසාධනය ඇතුලු ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අමාත්‍යංශය දැනුවත් කිරිමට කටයුතු කරන බව ප්‍රකාශ විය.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස්. රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් , වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) කේ.වී.ඩී.සි විමලසිරි, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ ශ්‍යාමලි පියතිස්ස, රබර් පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික් භාර නිලධාරී එච්.ජේ.එම්.බී පියසිංහ යන මහත්ම මහත්මින්, වාණිජ මණ්ඩලය හා තුරු සවිය යන ආයනවල නිලධාරීන්, රබර් වගාකරුවන්ගේ සංවිධාන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.