ළමයින්ගේ අනාරක්ෂිතභාවය දිනෙන් දින ඉහළ යන වකවානුවක දිස්ත්‍රික්කයේ ළමුන් සම්බන්ධයෙන් අදාළ සියළු නිලධාරීන් එකාබද්ධව සිය රාජකාරීන් ශක්තිමත් වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට ගෙන යා යුතු යැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (10 ) පැවති දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුවට සහභාගී වෙමිනි.
විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කොට දිස්ත්‍රික්කයේ දරුවන්ගේ පෝෂණය මනා කොට පවත්වාගැනීම සඳහා දායකත්වය ලබා දිය යුතු බවද ඒ මහතා මෙහි දී අවධාරණය කළේය.
එමෙන්ම මේ වන විට තරුණ පරපුර ගොදුරු කර ගන්නා HIV/AIDS පැතිරයාම සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ශ්‍යාමා සෝමවර්ධන මහත්මිය පැමිණ සිටි නිලධාරීන් දැනුවත් කළ අතර අධ්‍යාපනය, ළමයින්ගේ සෞඛ්‍ය ,පෝෂණය හා මානසික සංවර්ධනය, මත්ද්‍රව්‍ය නිවාරණය, ළමා අපයෝජන හා අපචාර, භාරය, ආරක්ෂාව සහ ආයතන ගත ළමුන් සමාජ ගත කිරීම, වීදි දරුවන් , ළමා ශ්‍රමය තුරන් කිරීම, කාන්තා ගැටළු ආදී ක්ෂේත්‍ර රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන්, සබරගමු පළාත් පරිවාස කොමසාරිස් මානෙල් කුලරත්න, පූර්ව ළමා විය සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ එස්.ජේ.යූ.බී කෝරළේගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, උපදේශන නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්, ළමාරක්ෂක නිලධාරීන්, පරිවාස නිලධාරීන්, පොලීසිය සහ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය හා කම්කරු කාර්යාලය නියෝජනය කළ නිලධාරීන්, ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියොජිතයින් රැසක් සහභාගී වූහ.




















