ගෝලීය ව්‍යවසායකත්ව සතියට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය, තාක්ෂණ අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සහ Meta පදනම එක්ව සංවිධානය කරන ලද‘ සුහුරු ලිය ‘ වැඩමුළුව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් අද (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ ව්යයසාය කටයුතු සඳහා තාක්ෂණය යොදා ගනිමින් නව වෙළඳපල අවස්ථාවන් ලගා කර ගැනීම, වෙළඳපල අවස්ථාවන් පුළුල් කිරීම හා ව්‍යවසාය කාර්යය වඩාත් පහසුකර ගැනීම සඳහා ප්‍රායෝගික දේශන මඟින් පැහැදිලි කර දීම මෙහිදී සිදු කෙරිණි.
රටවල් 180 ක් මෙම ගෝලීය ව්‍යවසායකත්ව සතිය සමරන අතර ලංකාවේ කාන්තා ව්‍යවසාකයින් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වීම ඊට සමගාමීව පවත්වන සුහුරු ලිව වැඩමුළුවේ අරමුණ වී තිබේ. දීපව්‍යාප්තව පවත්වන මෙම වැඩමුළු මාලාවේ මේ වන විට 8000 කට ආසන්න කාන්තා ව්‍යවසායකයින් පුහුණුව ලබා ඇති අතර විශේෂයෙන් ඔවුනගේ ව්‍යවසායකත්ව කාර්යයේදී වෙළඳපල සොයාගැනීම සඳහා සමාජ මාධ්‍ය යොදා ගන්නේ කෙසේද යන්න මෙහිදී අවබෝධය ලබා දෙයි.
කෑගල්ල දිස්ත්‍රික්කය ආවරණය කරමින් කාන්තා පුහුණුලාභීන් 110 ක් මෙම වැඩමුළුව හා සම්බන්ධ වී සිටියහ.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මනෝජ් හේමරත්න, කෑගල්ල දිස්ත්‍රික් කාර්මික සංවර්ධන මණ්ඩලයේ පළාත් කළමනාකරු එස්.ඒ.ජී. සේනානායක, සම්පත් දායක ෆස්ලාන් මරික්කාර් යන මහත්වරුන් ඇතුළු වනිතා සංවර්ධන නිලධාරීන්, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

























