කෘෂිකර්ම අමාත්‍යාංශය හා ජාතික පොහොර ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ "වී කරලට තව ඇටයක්" නමින් ගොවින් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (16)ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලම නියෝජනය වන පරිදි ගොවීන් එක සිටි මෙම වැඩසටහන සඳහා රසායනික පොහොර හා කාබනික පොහොර භාවිතය මගින් ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණයෙහි වැදගත්කම පිළිබඳ දැනුවත් කෙරිණි.

දිස්ත්‍රික්කයේ වාර්ෂික රසායනික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් හතළිස් දහසක් පමණ වන මුත් පොහොර සැපයුම හා පොහොර භාවිතයෙහි විශාල පරතරයක් පවතින හෙයින් අස්වැන්න කෙරෙහි එහි සෘජු බලපෑමක් එල්ල වී තිබේ.ඒ අනුව පොහොර යෙදීම හා භාවිතයට අදාළව කටයුතු කරන ඩිමෝ,සීඅයිසී සහ ප්ලාන්ට් කෙම් යන සමාගම්හි නියෝජිතයන් මෙහිදී ගොවීන් දැනුවත් කිරීම සඳහා එක්ව සිටියේය.

තවද ගොවි මහතුන්ට පස් සාම්පල් පරීක්ෂා කිර්‍රිමේ ලංකාවේ දැනට පවතින එකම ජංගම රථයේ ක්‍රියාකාරීත්වය පිලිබද ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීමට ද අවස්ථාව ලබා දී තිබූ අතර එය නිරීක්ෂණය සදහා දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහත්වරුන්ද එක්ව සිටියහ.

දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් සුමනදාස හා ටී.එච්.එස් තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික් පොහොර අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස් තිලක්සිරි මහතා, පොහොර බෙදා හැරීමේ ආයතන නියෝජිතයින් පොහොර අලෙවිකරුවන් ,තාක්ෂණික නිලධාරීන් ,ගොවි මහතුන් , මෙම ක්ෂේත්‍රයට අදාල රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.