2025 වර්ෂය පළමු කෘෂිකර්ම කමිටුව අද (21)පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.
පසුගිය වසරේ මෙන්ම මේ වසරේද කෑගල්ල දිස්ත්‍රික්කය පුරා මී උණ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති අතර වි ගොවිතැනට බැහැරව වෙනත් වගාවන්හි නිරත වුවන් අතරද පැතිර යමින් පවති. ප්‍රාදේශිය කෘෂි කමිටු හරහා මී උණ රෝගය පාලනය කිරිමට නිලධාරීන් හරහා ජනතාව දැනුවත් කල යුතු අතර ඒ හරහා පැන නගින ගැටළු හා යෝජනා දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුවට යොමු කල යුතු බව දිස්ත්‍රික් ලේකම්තුමන් වැඩි දුරටත් පැවසීය.
2025 වසර සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි ක්ෂෙත්රයට සමිබන්ධ ව්‍යාපෘතීන් 68 ක් හදුනාගෙන ඇති අතර ඉදිරි අයවැයෙන් මුදල් වෙන් වු පසු එම ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරිමට හැකි බව දිස්ත්‍රක් කෘෂි කර්ම අධ්යක්ෂ එම්. එස් . තිලකසිරි මහතා පැවසිය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අන්නාසි වගා කරන ගොවියන් තම වගාවන් සදහා පැල ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ආර්. එන්. එල්. රාජපක්ෂ මහත්මිය පවසයි. ගෙඩි හටගන්නා අන්නාසි පැල ලබා ගැනීමට නම් වගා බිම් පරික්ෂා කිරිමෙන් අනතුරුව කෘෂිකර්ම පරික්ෂණ නිලධාරීන්ගේ මැදිහත් විම මත ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඒ මහත්මිය වැඩි දුරටත් පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයට මායිම්ව කොළඹ නුවර මාර්ගය දෙපස ඇති පුරන් කුඹුරු කෙරෙහි කමිටුවේ අවධානය යොමු විය. පරගම්මන, අබේපුස්ස, යට්ටෝගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පුරන් කුඹුරු හදුනා ගැනීම මේ වන විට සිදු කෙරෙමින් පවති. මේ වන විටත් වරාගොඩ කුඹුරු යාය අස්වද්දා අවසන් බව කමිටුවේදී හෙලිවිය.
ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් "වී කරලට තව ඇටයක්" නමින් මේ වන විට වැඩ සටහනක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ටී.එච්.එස් තෙන්නකෝන් මහතා සදහන් කරයි. රසායනික පොහොර හා කාබනික පොහොර භාවිතය මගින් ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රමවේදයක් මේ මගින් හදුන්වා දේ. දිස්ත්‍රික්කයේ වාර්ෂික රසායනික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් හතළිස් දහසක් පමණ වන මුත් පොහොර සැපයුම හා පොහොර භාවිතයෙහි විශාල පරතරයක් පවතින හෙයින් අස්වැන්න කෙරෙහි එහි සෘජු බලපෑමක් එල්ල වී ඇති පසුබිමක මේ වැඩ සටහන පිටුවහලක් සලසයි.
2025 වසරේ අස්වැසුම වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් 16800 ක් කෘෂි කාර්මික හා කාර්මාන්ත අංශ යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 තුළම සවිබල ගැන්වීමට අපේක්ෂිත බව අතිරේක දිස්ක්රික් ලේකම් (පාලන) ටි. ඒ. කුසුම් බණ්ඩාර මහත්මිය පවසයි. මෙම කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේදී බිම් සකස් කර බීජ ලබා දීමේ අවස්ථාවේ සිට අස්වැන්න නෙලන අවස්ථාව දක්වා නිලධාරීන්ගේ නොමද සහය ලබා දෙන ලෙස වැඩි දුරටත් සඳහන් කළාය.
2024 වසරේ සුළු අපනයන භෝග වගාවන්ගේ ප්‍රගතිය, ,රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රගතිය, කුඩා තේ වතුසංවර්ධන අධිකාරියේ ප්‍රගතිය ,පශු සම්පත් හා සත්ව නිෂ්පාදන අංශයන්හි ප්‍රගතිය, මෙන්ම 2025 වසරේ ඉදිරි සැලසුම්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි .
කෑගල්ල දිස්ත්‍රික්කයේ වන සතුන් නිසා වගාවන්ට සිදුවන හානිය පිළිබඳ මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරිණි. ගොවි සංගම්වල නියෝජිතයන්,කෘෂි ක්ෂේත්රයට අයත් නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ වන විට ප්‍රාදේශිය මට්ටමින් වන සත්ව හානිය පිළිබද කමිටු පිහිටු වන අතර එහිදි සාකච්ඡා වන කරුණු වූ අතර ඒවා යෝජනා ලෙස ඉදිරි කටයුතු සඳහා අමාත්‍යාංශය වෙත යොමු කිරීමට නියමිතය.
මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)දිලීප් නිශාන්ත,දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ. වීරකෝන් ,ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ,කෘෂි ක්ෂෙත්රයට අයත් ආයතනවල ප්‍රධානීන් , ගොවිජන සේවා මධ්‍යස්ථ වල නිලධාරීන් ,ගොවි සමිති වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.





























