ශූරතා කුසලානය මාවනැල්ලට
බුලත්කොහුහුපිටියට - රඹුක්කනට අනුශූරතාව

කෑගල් දිස්ත්‍රික්කයේ ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය 11 වන දින පැවැත්වුණේ කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේදීයි. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම නියෝජනය වන සේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය සංවිධානය කරන ලද මෙම ක්‍රීඩා තරගාවලිය ආරම්භ වූයේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඒ. ටී. කුසුම් බණ්ඩාර (පාලන) මහත්මීයගේ සහ සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140ක් පමණ ඉදිරිපත් වූ මෙම තරගාවලිය කනිෂ්ඨ / ජ්‍යෙෂ්ඨ බාලක බාලිකා වශයෙන් තරග ඉසව් 66 කින් සමන්විත වූ අතර එම ක්‍රීඩක ක්‍රිඩිකාවන් දැඩි උනන්දුවකින් මෙම තරගාවලියට සහභාගි වීම කැපී පෙනුණි.

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඒ. ටී. කුසුම් බණ්ඩාර මහත්මිය අරමුණ පැහැදිලි කිරීමෙන් හා ක්‍රීඩා ප්‍රතිඥාව කියැවීමෙන් අනතුරුව ආරම්භ වූ මෙම ක්‍රීඩාවලිය ආබාධිත ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ ශරීරය සුවතාව ඉහළ නැංවීම එක් අරමුණකින්ද දිස්ත්‍රික් මට්ටමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රිඩිකාවන් ජාතික තලයේ තරගාවලියට ඉදිරිපත් කිරීම තවත් අරමුණකින්ද ඉන් ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා ඉදිරිපත් කිරීමේ අරමුණ සහ අදිටන ඇතුවයි මෙම තරගාවලිය පැවැත්වුණේ.

තරග ඉසව්වලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය විදහා පාමින් තම ඉලක්කවලට යාමට අවශ්‍ය මං පෙත විවර කර ගැනීමට මීටර් 100 ,- මීටර් 200 ධාවන තරඟ, ආබාධිත රෝද පුටු ධාවන තරග, පූර්ණ දෘෂ්‍යාබාධ සහිත වූවන්ගේ ධාවන තරග, යගුලිය විසි කිරීම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසි කිරීම, දුර පැනීම ආදී ක්‍රීඩා අංශ රැසකින් මෙම තරගාවලිය වර්ණවත් වුණා.

මෙම තරගාවලිය තුළ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දැක්වූ දක්ෂතාවන් මත උපයා ගත් ලකුණු පදනම් කර ගනිමින් සම ලකුණු 58 ක් හිමිකර ගනිමින් රඹුක්කන හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුශූරතා කුසලානයත් ලකුණු 102 ක් ලබා ගනිමින් මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ශූරතා කුසලානයත් හිමිකරගත් අතර මෙහි තෙවන ස්ථානය ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හිමිවුණා.

මෙහිදී තරගාවලියට සහභාගි වූ ක්‍රීඩා අංශ තුළින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට සහතික පත් හා ත්‍යාග පිරිනැමුණු අතර තරගාවලිය වර්ණවත් කර ගැනීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, සබරගමු පළාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. එච්. හබරකඩ මහත්මා, කෑගල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දික ලියනගේ මහත්මා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ සහ ක්‍රීඩා අංශයේ සියලු නිලධාරීන් ඇතුළු තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ භාරකරුවන්ද එම අවස්ථාවට සහභාගි වුණා.