ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ "ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන 2025" පිළිබඳ දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 03 12 දින පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. අභිනවයෙන් අද දින කෑගල්ල දිස්ත්‍රිකයෙහි වැඩ භාරගත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. ජේ. එම්. හේරත් සහ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් වැඩසටහනට සහභාගි වූ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහත්මා වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් නාලිකා පියසේන (ග්‍රාමීය සංවර්ධන) මහත්මියද සහභාගි විය.
යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වාධීන පුරවැසි සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රජාව සවිබල ගැන්වීමට අවශ්‍යයි. ප්‍රජාව තුළින් ගොඩනැගෙන ශක්තීන් පදනම් කරගනිමින් පංචවිධ සවිබල ගැන්වීමේ වැඩසටහනක් මගින් රටේ සෑම පුරවැසියෙකුම ජාතික ආර්ථිකයේ අභිමානවත් කොටස්කරුවකු බවට පත්කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අභිලාෂයයි. ප්‍රජාවගේ අදහස් යෝජනා ඇතිව ප්‍රජාව තුළින්ම ගොඩනැගෙන ශක්තීන් පදනම් කර ගනිමින් ජීවනෝපාය ප්‍රවර්ධනය, සමාජ ආරක්ෂණය, මූල්‍ය අන්තර්කරණය, මනෝ සමාජයීය සවිබල ගැන්වීම, පුහුණු කිරීම හා මග පෙන්වීම යන පංචවිධ බලවේගයන් ඔස්සේ ප්‍රජාව සවිබල ගැන්වීමයි මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණු වන්නේ.
ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන 2025 මූලාශ්‍ර දෙකක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.
සවි බල ගැන්වීමේ ජාතික වැඩසටහන (මහා භාණ්ඩාගාර මුදල් හා දෙපාර්තමේන්තුගත අරමුදල් යටතේ ක්‍රියාත්මක වේ)
ආසියානු සංවර්ධන බැංකුව නියමු වැඩසටහන (ආසියානු සංවර්ධන A D B බැංකු ණය ආධාර)
ක්ෂේත්‍රගත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වාර්ෂික ඉලක්කයට ළඟා වීමට එක් නිලධාරියකු පහත ප්‍රතිලාභී කාණ්ඩ අතුරින් පවුල් 50 ක් තෝරාගත යුතුවේ. පළමු අස්වැසුම ප්‍රතිලාභී පවුල් කාණ්ඩයට අනුව සංක්‍රාන්තික හා අවධානයට ලක් වූ ප්‍රතිලාභී පවුල් 23 ක්ද, දුප්පත් ප්‍රතිලාභී පවුල් 10 ක්ද, අන්ත දුප්පත් පවුල් 05 ක්ද පවුල් 38 ක් තෝරාගත යුතුවේ. එමෙන්ම දෙවැනි අඩු ආදායම් පවුල් කාණ්ඩය (සමෘද්ධි සහනාධාර ලැබූ පවුල්) 12ක් ලෙස මුළු පවුල් සංඛ්‍යාව 50 ක් තෝරාගත යුතුය. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් හඳුනා ගැනීම, අස්වැසුම නොලබන සමෘද්ධි සහනාධාරය ලැබූ අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීම, සවිබල ගන්වන ක්ෂේත්‍ර හා වැඩසටහන් හඳුනා ගැනීම, සවිබල ගැන්වීමේ ක්‍රමවේදය සහ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳ මේ වන විට සියලු නිලධාරීන් දැනුම්වත් කොට තිබේ.
වැඩබාරගත් මොහොතේම මෙම වැඩසටහනට සහභාගිව පිළිගැනීමේ කතාව කළ අභිනව දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ: "රාජ්‍ය නිලධාරීන් වන අපගේ මුළු ජීවිත කාලයම රැකදෙන්නා වූ ජනතාව රාජ්‍ය නිලධාරීන් වන අප විසින්ම එම ප්‍රජාවගේ ජීවිතද රැකගත යුතු බවයි. එම කාර්යය සුවිශාල කාර්යයක් බවත් එය ඉටු කිරීමේදී කණ්ඩායමක් ලෙස සියලු දෙනාම ඒ සඳහා වැඩ කළ යුතු බවයි"
දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ඇමතිතුමන් ප්‍රකාශ කර සිටියේ: " මාස 08 ක කාලයක් ඇතුළත මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර ගන්නේ කෙසේද යන්න අභියෝගයක් ඇති බවත් අප බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධන වේගය අත්පත් කර ගැනීමට හැකි වන්නේ ‍ප්‍රමාණවත් ලෙස එය ක්‍රියාවට නංවා ගතහොත් පමණක් බවයි." එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ:" යැපුම් මානසික තත්ත්වයෙන් මිදී රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක වන, ආර්ථිකයේ පංගුකාරයින් ලෙස වෙහෙස මහන්සි වෙන, නිෂ්පාදනය කරන ප්‍රජාවක් බිහිකර ගත යුතු බවත් එහිදී ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ නිවැරදි ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ අවශ්‍ය අයට ප්‍රතිලාභ ලබාදී මෙම කාර්යය වගකීමෙන් යුතුව කළ යුතු බවයි."
අද දින වැඩසටහනට සහභාගි වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන) නාලිකා පිය සේන මහත්මිය මෙම ව්‍යාපෘතියෙහි කාර්යභාරය සහ අරමුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියේ: " අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධාන අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ සංකල්පයට අනුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය ග්‍රාමීය දිළිඳු ජනතාව සවිබල ඉගැන්වීම සඳහා වැඩසටහන් සහ ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති වර්ෂයකට ලක්ෂ 04 බැගින් වර්ෂ 05 කට ලක්ෂ 20 ක් සවිබල ගැන්වීම සහ ඔවුන් දරිද්‍රතාවයෙන් මිදී සවිබල ගැන්වුණු පිරිසක් ලෙස සමාජගත කිරීමයි අපගේ අරමුණ වන්නේ." එමෙන්ම අද දින පැවැති මෙම රැස්වීම සඳහා සහභාගි වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජීවනෝපාය සංවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකාර, සුනිල් විජේසිංහ මහත්මා විසින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2025 වර්ෂයේ සවිබල ගැන්වීම් වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එමෙන්ම අද දින පැවති මෙම සභාවාරය ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට මා හැඟී අවස්ථාවක් වූ අතර සාර්ථක වැඩසටහනක් ලෙස අවසන් විය.
අද දින පැවති මෙම රැස්වීම සඳහා දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ආර්. කාංචන වැලිපිටිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ආර්. නන්ද බණ්ඩාර, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ඒ. ඒ. සාගරිකා ගංගානි අතාවුද යන මහත්ම මහත්මීන්ද, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්. එස්. තිලකසිරි යන මහත්ම මහත්මීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින්ද, ප්‍රාදේශීය සහභාගිත්වය නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි මූලස්ථාන, ප්‍රජා මූල බැංකු සමිති, ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සවිබල ගැන්වීමට අදාළව සෘජුව සම්බන්ධිත ආයතනවල දිස්ත්‍රික් ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ සියලු නිලධාරීන් සහභාගි විය.

1

2

3

4

5

6.

7

8

10