ශ්‍රී ලංකා රජය හා කොරියානු ජනරජයේ අනුබද්ධිත ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදලේ මූල්‍ය සහයෝගීතාවය මත ආරම්භ කළ රුවන්වැල්ල්ලජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියගේ හා කොරියන් තානාපතිනී මියෝන් ලී මහත්මියගේ ප්‍රධානත්වයෙන් මැයි මස 29 වන දා රුවන්වැල්ල ජල පවිත්‍රාගාර පරිශ්‍රයේදී සිදු කෙරිණි .

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජල සම්පාදන යෝජනා ක්‍රමයක දීර්ඝකාලීන අවශ්‍යතාවය අනුව මෙම ප්‍රදේශයේ නිවාස , රාජ්‍ය හා පෞද්ගලිකව ආයතන, කර්මාන්ත ශාලා, පාසල්, රෝහල් ,සංචාරක හෝටල් සහ දෛනික ජීවන අවශ්‍යතා සපුරාලීම සදහා අත්‍යවශ්‍ය වන පානීය ජල ගැටලුවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක විසඳුම් ලබාදීම සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ඇරඹිණි.
ගංවතුරට හසුවීමේ අවධානමෙන් මිදීම සඳහා රුවන්වැල්ල අවට ජනතාව කඳුමුදුන් ආශ්‍රිතව ජනාවාස පිහිටුවීමට පෙළඹී ඇත.මේ හේතුව නිසාම වර්ෂාව නොමැති කෙටි කාලයක් තුළ පවා ජනාවාස අවට නොගැඹුරු ලිං වල ජලය සිඳී යාමේ තත්ත්වයක් පැන නැගී ඇත. පහත් බිම් වල පවතින ජනාවාස තුළද දැනට පවතින නොගැඹුරු ළිං ගංවතුරට හසුවීමෙන් මහජනතාවට සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇත.
දිනකට ඝන මීටර 4000 ධාරිතාවයකින් යුතු ජල පිරිපහදුවක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට 2019 වර්ෂයේ ආරම්භ කළ අතර ආර්ථික බිඳ වැටීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ආදියර 1සහ 2ලෙස කොටස් විය . අදියර එකෙහි ඉදිකිරීම් මේ වන විටත් අවසන් කර ඇත. අදියර දෙකෙහි නල එලීම හා ඉදිකිරීම් කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින අතර ඒ 2028 වර්ෂය වන විට අවසන් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය දකුණු කොරියානු ජනරජයට අනුබද්ධිත ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදලේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය සහයෝගීතාවය මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතියකි.
අදියර එකෙහි ඉදිකිරීම් නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ මගපෙන්වීම හා ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලයේ අධීක්ෂණ යටතේ කොරියානු කොලොන් ග්ලෝබල් කෝපරේෂන් පුද්ගලික සමාගම් විසින් සිදු කර ඇත.
අදියර එක නිම කිරීම සඳහා පිරිවැය ඇ.ඩො.මිලියන 25.5 කි. කොරියන් එක්සීම් බැංකුවේ ණය අරමුදල 18.45 ක් වන අතර ශ්‍රී ලංකා රජයේ අරමුදල් ඇ.ඩො. මිලියන 7.05 කි.
ප්‍රදේශයේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් ඉහල නැංවීම තුළින් මහජන සෞඛ්‍ය ඉහළ නැංවීම, ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම, සංචාර ව්‍යාපාරය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා හිතකර යටිතල පහසුකම් නිර්මාණය කිරීම,පාරිභෝගිකයන් සඳහා බාධාවකින් තොරව අඛණ්ඩව සේවා සැපයීම, ගිණුම් ගත නොවන ජල ප්‍රමාණය අවම කිරීම මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ මූලික අරමුණු අතර වේ.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා,නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුලු කෑගලු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා , ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන්, නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්,කොරියානු ජනරජයේ නියෝජිතයන්, ජල සම්පාදන ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් එක්වූහ.
 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18