2025 ජගත් පරිසර දිනය වෙනුවෙන් "බන්දුල පෙතියා" (Pethiya bandula) Bandula Barb ජීවත් වන මිහිතලයේ එකම ස්ථානය සංරක්ෂණය කිරීමට පියවර ගැනේ.


ඒ අනුව 1991 වර්ෂයේ දී හඳුනාගන්නා ලද ස්ථානීය ආවේණික( Point Endamic) මත්ස්‍යයෙක් වන දැඩි ලෙස ආරක්ෂිත, හා දැඩිලෙස වඳවීමේ තර්ජනයට ලක්වී සිටින බන්දුල පෙතියා සංරක්ෂණය කිරීම වෙනුවෙන් ගලපිටමඩ , නික්කඳුපොල ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් බවට පත් කිරීම මැයි මස 02 දින එම භූමියේ දී සිදු කෙරිණි.
එම විස්තර සහිත පුවරුව ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ සුරතින් අද විවෘත කෙරුණු අතර ඊට සමගාමීව බන්දුල පෙතියා ජීවත් වන පරිසරයට සෙවන සලසන කුඹුක් පැල සිටුවීම ද ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා , පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර් උඩුවාවල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී.මාරසිංහ , කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් ඇතුළු මහත්වරු අතින් සිදු විය.
ඒ අනුව මින් ඉදිරියට වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත, මෙම මත්ස්‍යයා ඇල්ලීම, තුවාල සිදුකිරීම , සන්තකයෙහි තබා ගැනීම හෝ විකිණීම , ප්‍රවාහනය , ප්‍රදර්ශනය කිරීම හෝ වාසස්ථානවලට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
මෙම අවස්ථාවට සමගාමීව පසුගිය 22වන දින නික්කඳුපොල දොළ පහර පිහිටි ප්‍රදේශයට ආසන්න පාසල් 03ක් සම්බන්ධ කරගෙන "බන්දුල පෙතියා" සුරකිමු තේමාව යටතේ පැවැත්වූ චිත්‍ර තරඟයේ ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් බෙදා දීම ද සිදු විය.
මෙම කාර්යය සඳහා නාරා ආයතනයේ ආචාර්ය රමණි මහත්මිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා ,වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් විශාල දායකත්වයක් ලබාදෙන බව විශේෂයෙන්ම සදහන් කල යුතුය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,රාජ්‍ය නිලධාරීන්,පාසල් සිසුන්, ගම්වාසීන් ඇතුළු පිරිසක් එක් වූහ.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19