ජුනි මස 05 වැනි දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති පරිසර සතියෙහි ජෛව විවිධත්ව සංරක්ෂණ දිනට සංවිධානය කරනු ලබන "ආක්‍රමණශීලි ආගන්තුක ශාක විශේෂයක් වන යෝධ නිදිකුම්බා (Mimosa pigra) සහ අනෙකුත් ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂයන් මර්දනය හා කළමනාකරණය" පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී. කුසුම් බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.


දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ පිළිගැනීමේ කතාවෙන් හා පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (ජෛව විවිධත්ව) චාන්දනී විල්සන් මහත්මියගේ අරමුණු පැහැදිලි කිරීමෙන් පසු මෙම වැඩමුළුව ආරම්භ විය. ආක්‍රමණශීලී ශාක අපේ ජෛව විවිධත්ව පරිසරයට ඇතුළු වන ආකාරය, ව්‍යාප්ත වන ආකාරයත්, ජපන් ජබර, පාතීසියම්, සැල්වීනියා, යෝධ නිදිකුම්බා සහ ආක්‍රමණශීලී ජීවීන්ගෙන් පරිසර පද්ධතිය ආරක්ෂා කර කරගන්නේ කෙසේද යන්න පිළිබඳවත් පරිසර අමාත්‍යාංශයේ ජාතික ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ විශේෂඥ කණ්ඩාය⁣මේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහත්මා විසින් "ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් වන යෝධ නිතිකම්බා සහ අනෙකුත් ආක්‍රමණශීලී ආගන්තුක ජීවි විශේෂ පිළිබඳ හඳුන්වාදීම, මර්ධනය හා කළමනාකරණය" මැයෙන් විශේෂ දේශනයක් ද, පරිසර අමාත්‍යාංශයේ ජාතික ආගන්තුක ජීව විශේෂ පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ සාමාජික, නීතිඥ , ජ්‍යෙෂ්ඨ පරිසරවේදී ආචාර්ය සරත් ගුණවර්ධන මහතා විසින් "ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ මැඩලීම සඳහා ඇති නීතිමය ප්‍රතිපාදන" මැයින් දේශනයක්ද, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ජෛව විවිධත්ව) චාන්දනී විල්සන් මහත්මිය විසින් නිරෝධායන පළිබෝධකයන් පිළිබඳවත් එවැනි පලිබෝධකයකු නම් කළ පසු ඔවුන් සන්තකයේ තබා ගැනීම, බෝ කිරීම, ව්‍යාප්ත කිරීම ආදියෙහි නෛතික රාමුව පිළිබඳවත් පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලදී.
පරිසර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (ජෛව විවිධත්ව) නිල්මිණි රණසිංහ මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, පරිසර නිලධාරීන්, ග්‍රාමසේවා නිලධාරීන් ඇතුළු පරිසර අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ අතර සාර්ථක වැඩමුළුවක් ලෙස නිමාවට පත් විය.

3

4

5

6

7

8

9

10

11

12