ජුනි මස 05 වැනිදාට යෙදුණු ලෝක පරිසර දිනයට සමගාමීව පැවති පරිසර සතියේ අවසන් දිනය ඊයේ නිමාවට පත් වූයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේ පැවති පරිසර සැමරුම් උත්සවය මගින්. මෙම පරිසර දිනය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයටද සුවිශේෂී කාරණාවන් කිහිපයක් සනිටුහන් කර ගැනීමට හැකි වුණා. කාබන් උදාසීන වැඩසටහනක් ලෙස සංවිධානය කර තිබූ කර මෙම උත්සවය මගින් "නිල්ගල" වනාන්තරය, "කොට්ටව" වනාන්තරය, "වේරැහැන් කන්ද", "තුල්හිරිකන්ද", "උඩලියැද්ද" ඇතුළු වනාන්තර පහක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමත් ඊට අදාළ ලේඛන ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීමත් මෙහිදී සිදු වුණා. එමෙන්ම පාරිසරික වශයෙන් අගයනු ලැබූ හරිත දුම්රිය ස්ථාන වෙනුවෙන් සම්මාන සහතික පත්‍ර, මුදල් ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුවීම විශේෂත්වයක්.
කෑගල්ල දිස්ත්‍රික්කයට සුවිශේෂී කාරණයක් වන්නේ දිස්ත්‍රික්කයට ආවේණික මත්ස්‍යයකු වන "ජයන්තියා" හෙවත් බන්දුල පෙතියා ජීවත් වන ප්‍රදේශය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රකාශනය ජනාධිපතිතුමාට භාර දීමයි. පරිසර හිතකාමී ආදර්ශ පාසල් පිහිටුවීමේ ලිපි පාසල්වලට භාරදීමත් මෙහිදී සිදු වූ තවත් වැදගත් කාරණයක්.
මෙම උත්සවයට පැමිණි රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව අමතමින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ: " වර්තමානයේ ජීවත්වන අපට අත්හරින්නට බැරි වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මේ රාජ්‍යයේ පරිසර පද්ධතිය යළි ප්‍රතිස්ඨාපනය කිරීමට. මේ ඛේදවාචකය මේ ආකාරයටම ඉදිරියට ගියොත් අනාගත දරු පරම්පරාවට සහ අපගේ අනාගත පරපුරට අප හිමිකර දෙන්නේ ඛේදවාචකයක්. වර්තමානයේ ජීවත්වන පුරවැසියන් හැටියට අපට අත්හල නොහැකි වගකීම තමයි මේ පරිසර පද්ධතිය නිසි පරිදි ප්‍රතිස්ඨාපනය කොට අනාගත පරම්පරාවට ආරක්ෂා කර දීම. අප රටේ බලවත්ම අණ පනත් තිබෙන්නේ පරිසර ක්ෂේත්‍රයේ යැයි මා විශ්වාස කරනවා. ඉතාමත් විධිමත් රාජ්‍යය යාන්ත්‍රණයක් තිබෙනවා. මෙම අණ පනත් ක්‍රියාත්මක කිරීම සහ මෙම අණ පනත්වලින් අවශ්‍ය වන පරිසර පද්ධතියට ආරක්ෂාව ලබාදීම සඳහා. පොදු පුරවැසියා පරිසරයත් සමග අනන්‍ය බැඳීමක් තිබෙනවා. කොතැනක හෝ පාරිසරික විනාශයක් සිදුවෙනවා නම් ගමේ පුරවැසියා පළමුකොටම එයට එරෙහිව හඬ නගනවා. ඒ නිසා පළමුකොටම අපට අණ පනත් තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. පොදු ජනයාගෙන් ඒ සඳහා ස්වයං ආරක්ෂණයක් යෙදී තියෙනවා. එහෙත් අප අසමත් වී තිබෙනවා එම විනාශයන් වළක්වා ගැනීමට."
මෙම අවස්ථාවට ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මැතිතුමන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සාගරිකා අතාවුද, කෑගල දිස්ත්‍රික් මන්ත්‍රීතුමන්ලා,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්මා, තානාපති නිලධාරීන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර් උඩුවාවල මහත්මා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මා සහ ටී. කුසුම් බණ්ඩාර මහත්මිය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, , ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කෑගල්ල හා තදාසන්න ප්‍රදේශවල ජනතාව බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.



































