කෘතිම බුද්ධිය භාවිතය මගින් ව්‍යාපාර කටයුතු වේගවත් කරගන්නා ආකාරය ,අපනයන ව්‍යාපාරයට කෘත්‍රීම බුද්ධිය භාවිතා කර ව්‍යාපාරයන්ට අදාළ පරිවර්තනයන් සිදු කරගන්නා ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීමක් මැයි 06 දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ජගත් හේරත් මහතා පැවසුවේ වර්තමාන තරගකාරී වෙළඳපළ අතික්‍රමණය කිරීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම වැදගත් වන බවයි.
මෙම වැඩසටහනේදී අපනයන සංවර්ධන මණ්ඩලය පිළිබඳව හඳුන්වාදීම ,එහි කාර්යභාරය හා සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම එහි අපනයන සේවා අංශයේ සහකාර අධ්‍යක්ෂ ඩිශාන්ත් යාපා මහතා විසින් සිදු කරන ලදී.
කෘත්‍රීම බුද්ධිය භාවිතා කිරීමෙන් අපනයන වෙළඳපළට පිවිසීමට හැකි මාර්ගයන් සහ නවීන ප්‍රවේශයන් පිළිබඳව මෙහිදී ව්‍යවසායකයන් දැනුවත් කළේ Blue Chips Asia ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී උදිත බණ්ඩාර මහතා විසිනි.
විශේෂයෙන්ම ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරයට අදාළව ගිණුම්කරණ කටයුතු, ප්‍රචාරණ කටයුතු,සමාජ මාධ්‍ය භාවිතා කරමින් නිෂ්පාදනයන් ප්‍රචලිත කිරීම ඇතුළු තම නිෂ්පාදනයන්ට අදාළ වෙළඳපොළ සාර්ථකව ජය ගැනීමට කෘත්‍රීම බුද්ධිය භාවිතා කිරීමේ හැකියාවන් පිළිබඳව මෙහිදී පෙන්වා දුනි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් අපනයන සංවර්ධන නිලධාරිනී කෞශල්‍යා ජයවර්ධන මහත්මිය ඇතුළු අපනයන සංවර්ධන නිලධාරීන් එක්ව සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) දිලීප් නිශාන්ත,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පළාත් කාර්යාලයේ අපනයන ප්‍රවර්ධන නිලධාරී චමිලා පාවුළු ආරච්චි යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපනයන සංවර්ධන නිලධාරින්, ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


























