කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය 2025 .06 .20 දින රැස්වුණේ සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රිය දර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි. නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම, කලා භූෂණ සම්මාන තරගාවලිය, ප්‍රාදේශීය - දිස්ත්‍රික්  -  ජාතික - සාහිත්‍ය තරගාවලිය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩමුළු, මෙතෙක් දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය හඳුන්වනු ලැබූ "කලා විභාෂී" යන නම ඉවත්කොට ඊට සුදුසු නමක් ඉදිරියේදී භාවිතයට ගැනීම  සහ 2025  ඉදිරි මාසවලදී කළ යුතු ඉදිරි වැඩසටහන් පෙළගැස්මයි  සාකච්ඡා කරන ලද්දේ.
මෙහිදී ප්‍රථමයෙන්ම දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සදහා නව නිලධාරියෙකු පත්කර ගැනීමට යෝජනා වූ අතර  එහි සභාපති තනතුර සඳහා උප සභාපති යූ. ඇම්. ආර්. ගුණරත්න මහත්මා පත්වු අතර  ඉන් අන්තුරුව සෙසු තනතුර සදහාද නව නිලධාරීන් තෝරා ගැණිනි.ඒ අනුව ලේකම් තනතුර සඳහා  හේමචන්ද්‍ර පියදාස මහත්මාත්  භාණ්ඩාගාරික  තනතුර සඳහා එම්. අර්. සෙනරත් බණ්ඩා (වෛද්‍ය) යන මහත්මාවරුන් පත් කරගන්නා ලදී. මෙම තනතුරු තාවකාලිව පත් වූ අතර තෙමසකින් මහ සභාව ඔස්සේ නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමට නියමිතයි.ඉන් අනතුරුව දැනුම්වත් කරන ලද්දේ කලා භූෂණ සම්මාන උළෙල පිළිබඳවයි. නව දෙනෙකුගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් මගින් පහත කරුණු සැලකිල්ලට ගනිමින් එම එක් එක් නිර්නායකය සඳහා ලකුණු ලබාදීමේ පටිපාටියකට යටත්වයි අදාළ කලාකරුවන් තෝරා ගනු ලබන්නේ. වයස අවුරුදු 60  ඉක්මවූ දේශීය කලාකරුවකු ලෙස කටයුතු කළ කාලයද කලාවේ උන්නතියට කටයුතු කරමින් ශිෂ්‍යානු ශිෂ්‍යය පරම්පරාව ගොඩනැගීමත්, දැනට කලාවේ නිරතව සිටීම මෙන්ම පාරම්පරික ශිල්පියකු වීම හෝ ප්‍රවීණ කලා ශිල්පියෙකු වීම සහ ලබා ඇති ජයග්‍රහණ (ජාතික, ජාත්‍යන්තර, පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය), ලබාගත් ගරු සම්මාන හා සිදුකොට ඇති ජනගත කළ නිර්මාණ ඈ මෙම නිර්ණායකයි. මෙම නිර්ණායකවලට යටත් ඕනෑම අයෙකුට දැනුම් දී ඇති දිනවකවානු තුළ තරගය සඳහා අයදුම් කළ හැකි අතර ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් මගින් මේ පිළිබඳව දැනුම් දී ඇත. අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතුවේ.
 දෙවැනිව දැනුවත් කරන ලද්දේ ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික සාහිත්‍ය  තරගාවලිය පිළිබඳවයි. ඒ ඒ ශ්‍රේණි, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ද්විතීක ආදී ලෙස තරග ඉසව් කිහිපයක් මේ යටතේ පැවැත්වීමට නියමිතයි. කතන්දර ඉදිරිපත් කිරීම, පද්‍ය ගායනා, පද්‍ය රචනා, කෙටිකතා නිර්මාණ, ටෙලි කතා තරඟය ආදී තරඟ ඉසව් විශාල ප්‍රමාණයක් පැවැත්වීමට නියමිත අතර සිනමා විචාර  තරගයක් පැවැත්වීමට මේ වර්ෂයේ සූදානම් කර ඇත. මීට අමතරව ඇඳීම සහ පින්තාරුකරණය, සෙරමික් කලා, මූර්ති, කාටුන්, ස්ටිකර් චිත්‍ර ආදියෙන් දස්කම් දක්වන අයට චිත්‍ර මූර්ති තරගය සඳහා ඉදිරිපත්විය හැකිය.  අදාළ චක්‍රලේඛ මගින් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කොට ඇත.
2025 06 28 - 29 දෙදින වැඩමුළුවක් කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර එයට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන්ට ඊට අදාළ තොරතුරු ලබා දෙන ලෙස දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීතුමිය දන්වා සිටින ලදී.
"කලා විභාෂි" ට සමුදෙන දිනය ළඟයි
මෙතෙක් දිස්ත්‍රික් සාහිත්‍ය උළෙල සඳහා භාවිත කළ "කලා විභාෂි" නාමයෙහි ගණ දෝෂ පවතින බැවින් හැම දෙනාටම උච්චාරණය කළ හැකි, ශුභ ගණයකින් නිර්මාණය කළ  අර්ථාන්විත නමක් ඉදිරියේදී විද්වත් මණ්ඩලයක් යටතේ තෝරාගැනීමට මෙහිදී තීරණය විය. ඒ සඳහා  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංස්කෘතික නිලධාරීවරයා හරහා නිර්මාණය කරන ලද නම් කඩිනමින් එවීමට කටයුතු කරන ලෙසත් පැරණි නම ඉවත් කරන බවට යෝජනා ස්ථිරත්වයක්ද මෙහිදී සිදු විය. 
මෙදින පැවති රැස්වීම් වාරය තුළ අනතුරුව සිදු කෙරුණේ වර්ෂයේ ඉදිරි මාසවලදී සිදු කිරීමට නියමිත වැඩසටහන් පෙළ ගැස්මයි. "කෙතයි බතයි - අපේ ගමයි" වැඩසටහන, සංචාරක කර්මාන්තය උදෙසා සඟරා නිර්මාණය කිරීම, ආකල්ප සංවර්ධන වැඩසටහන, ප්‍රාදේශීය බල මණ්ඩලවල කලාකරුවන් සම්බන්ධ කරගනිමින් අංකුර කලාකරුවන් එකතු කරගනිමින් කරන වැඩසටහන, අගෝස්තු මාසයේදී සිදු කිරීමට නියමිත ජන ක්‍රීඩා දෙවැනි අදියර, සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත සාහිත්‍ය උත්සවය, ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය, නොවැම්බර් මාසයේදී පවත්වන සංස්කෘතික බල මණ්ඩල වැඩසටහන සහ දෙසැම්බර් මාසයේදී කලායතන ප්‍රසංගයක් පැවැත්වීම (කලායතනාධිපති හමුවක්) මෙම වැඩසටහන් මාලාවයි.
දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් සංවිධානය කළ මෙම රැස්වීම සම්බන්ධීකරණය කරන ලද්දේ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මියයි. මෙම අවස්ථාවට දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ  නිලධාරීන් , ප්‍රදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික  නිලධාරීන් සහ දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ සියලු නිලධාරීන් සහභාගි විය.