ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති පාසල්වල විදුහල්පතිවරුන්ට පුහුණු වැඩසටහනක්
ජාතික ළමාරක්ෂක අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල ,මාවනැල්ල ,දෙහිඕවිට අධ්‍යාපන කලාපවල පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ශිෂ්‍ය තානාපති වැඩසටහන සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (24) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බංඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පාසල්වල ශිෂ්‍ය නායකයින්ගේ ළමාරක්ෂාව පිළිබඳව දැනුම ,කුසලතාවය සහ ආකල්ප සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන තුළින් ළමා හිතකාමී සහ සුරක්ෂිත පාසල් පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගනී. ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීම ,පාසල තුළ ළමා අපයෝජන සිදුවීම් අවම කර ගැනීම සහ වලක්වා ගැනීමට ශිෂ්‍ය නායකයින්ගේ දායකත්වය ලබා ගැනීම, ශිෂ්‍ය නායකයින් ළමා ආරක්ෂාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී කරවා ගැනීම, පාසල තුළ ළමා හිතකාමී ආරක්ෂාකාරී පාරිසරයක් ඇති කිරීමට ශිෂ්‍ය නායකයින්ගේ නායකත්වය හා ආකල්ප සංවර්ධනය තුළින් මැදිහත්කරණ ක්‍රියාවලිය සහ වගවීම් ක්‍රියාවලිය තීව්‍ර කිරීම මේ ඔස්සේ සිදු කෙරේ.
ඒ අනුව 2022 වසරේ සිට ලියාපදිංචිලත් පාසල්වල විදුහල්පතිවරුන්, ශිෂ්‍යනායක මණ්ඩල භාර ගුරුවරුන් සහ ශිෂ්‍යතානාපතිවරුන් දැනුවත් කිරීම සිදුවන අතර මේ දක්වා ලියාපදිංචි වූ අධ්‍යාපන කලාප තුනක විදුහල්පතිවරුන් අද වැඩසටහන සඳහා සහභාගි විය. මෙහිදී පාසල් ළමුන් සඳහා වයසට සරිලන අන්දමේ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකාර්යාලයේ පාසල් අධ්‍යාපන අංශයේ වෛද්‍ය සනත් ප්‍රනාන්දු මහතා විසින් මෙහිදී දැනුවත් කරන ලදී. පාසල් පද්ධතිය තුළ අඩු වයස් ගැබ් ගැනීම්, ළමා අපචාර,ළමා මව්වරුන් බිහිවීම, ඒඩ්ස් ඇතුළු සමාජ රෝග බෝවීම, සමලිංගික සම්බන්ධතා ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබෙන බව වෛද්‍යතුමන් විසින් මෙහිදී වැඩිදුරටත් විස්තර කර දෙන ලදී.
ඉන් අනතුරුව සයිබර් අවකාශය තුළදී සිදුවන ළමා හිංසන හා අපයෝජනවලින් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා දැනුවත් කිරීමට එක් වූයේ ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරී නීතිවේදී විපුල ගුණවර්ධන මහතායි.නූතන සමාජය තුළ දරුවන් අතර බහුලව සිදුවන සයිබර් අවකාශ ආශ්‍රිත නිදර්ශන සහිතව ඒ මහතා විසින් මෙම දැනුවත් කිරීම සිදු කරන ලදී.
දිස්ත්‍රික් ජේෂ්ඨ උපදේශ නිලධාරිනී රේණුකා ජයරත්න මහත්මිය විසින් අන්තරාකාරී ඇබ්බැහිවීම් වලින් ආරක්ෂාවීම සඳහා සිසුන්ට උපදේශනය ලබා දීමේ වැදගත්කම පෙන්වා දුන් අතර ළමුන්ගේ ආකල්ප සහ ගුණවත්කම් ඉහල නැංවීම සඳහා මේ වන විට ක්‍රියාත්මක ප්‍රායෝගික වැඩසටහන් පිළිබඳව තම අත්දැකීම් බෙදා ගැනීම සඳහා එක්වූයේ ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරී මහින්ද දසනායක මහතා ය.
කායික දණ්ඩනය වළක්වා ගැනීම සහ ධනාත්මක ශික්‍ෂණය ඔටිසම් ආබාධිත දරුවන් සඳහා අන්තර් කරන ප්‍රවේශයකින් කටයුතු කිරීම පිළිබඳව දැනුවත් කිරීමද මෙම වැඩසටහනට සමගාමීව සිදු අතර සිදුවූ අතර ඒ සඳහා සම්පත් දායකත්වය පද්මසිරි ගම්ලත් මහතා විසින් ලබාදෙන ලදී.
දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරි විනෝදනී කුලතුංග සහ දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී චතුරිකා බණ්ඩාර යන මහත්මීන් විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා කලාප තුන නියෝජනය කරමින් ගුරු භවතුන් විදුහල්පතිවරුන් හතළිස් පස් දෙනෙකුට ආසන්න පිරිසක් එක්ව සිටියහ.































