කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කෙරේ.
 
 
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද (01) උදෑසන කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති ජගත් හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවැත්විණි.
ඒ අනුව, රුපියල් මිලියන 188.83 ක වියදමින් ඉදිකරන ලද පහළ බිම් මහල, බිම් මහල සහ පළමු මහල නිම කර අද විවෘත කරන ලදී.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දැනට පවතින ඉඩකඩ හිඟය හේතුවෙන්, කාර්යාලයේ තදබදය අවම කිරීම සඳහා මෙම ගොඩනැගිල්ලේ දෙපාර්තමේන්තු කිහිපයක් ස්ථාපිත කිරීමට නියමිතය. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ගොඩනැගිල්ල භාවිතයට ගත හැකි මට්ටමකට නිම කිරීම සඳහා අත්‍යවශ්‍ය කටයුතු පමණක් සිදු කරන ලදී. ඒ අනුව, ගොඩනැගිල්ලේ පහළ බිම් මහල, බිම් මහල සහ පළමු මහල මුලින්ම නිම කිරීමට තීරණය කරන ලද අතර, එය භාවිතා කළ හැකි වන පරිදි, සම්පූර්ණයෙන් නිම කර නොමැති ඉහළ මහල් දෙකෙහි වැඩ නිම කිරීමට අවශ්‍ය අරමුදල් ඉල්ලා ඇත.
මෙම අවස්ථාවට, මහා සංඝ රත්නය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා ගංගානි අතාවුද, දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පරිපාලන) කුසුම් බණ්ඩාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.