රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙව්ර මත තබාගනිමින් 2026 නව වසරේ පළමු දින රාජකාරි කටයුතු ආරම්භ කිරීම අදින් ඇරඹිණි. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය සිය නව වසරේ රාජකාරි කටයුතු මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව සෙත් පිරිත් සජ්ඣායනාවන්ට මුල් තැන දෙමින් ආරම්භ කළේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

 පළමුව ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා කරමින් ඇරඹි නව වසරේ සමාරම්භක සැමරුමේදී ඉන් පසුව දේශය වෙනුවෙන් දිවි කැප කළ සියළුම දෙනාම සිහිපත් කිරීම වෙනුවෙන් විනාඩි දෙකක නිහැඬියාවක් පළ කෙරිණි. සමස්ත කාර්ය මණ්ඩලයම රාජ්‍ය සේවා ප්‍රතිඥාව දිවුරුම් දීම සිදුවූයේ ඉන් අනතුරුවයි.

ගෙවුණු වසර අවසානයේ ඇතිවූ ස්වභාවික ව්‍යසනය හමුවේ පීඩාවට පත් කෑගල්ල දිස්ත්‍රික් ජනතාව නැවත යථා තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් සිදු කරන තම කාර්යමණ්ඩලයට සිය ප්‍රණාමය පළකර දිස්ත්‍රික් ලේකම්තුමන් නව වසර සමඟින් උද්යෝගයෙන් හා කාර්යක්ෂමව කටයුතු කරමින් තම රාජකාරිමය වගකීම නිසි ලෙස ඉටු කරන මෙන් ඉල්ලා සිටියේය.