පින්නවල අලි අනාථාගාරය ආරම්භ කොට වසර 51 ක් පිරීමේ සංවත්සරය අද (16)දිනට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් "නිදහස් අලි අරණ " පරිශ්‍රය විවෘත කිරීම අද දින සිදු කෙරිණි. ආසියානු පිරිමි අලින් ලිංගික පරිණතත්වයට පැමිණි විට “මද”ලෙස හැඳින්වෙන කාල පරිච්ඡේදයකට පිවිසීම සාමාන්‍ය ලක්ෂණයකි. එම අවස්ථාවේදී ඔවුන් ආරක්ෂිතව හා විධිමත් ක්‍රමවේදයන්ට අනුව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම අවශ්‍යයතාව සපුරාලමින්, නවීන සත්වෝද්‍යාන හා සත්ත්ව සුබසාධන සංකල්පයන්ට අනුගතව වැඩිහිටි පිරිමි අලින් නිදහසේ තැබීම සඳහා “නිදහස් අලි අරණ”මින් ඉදිරියට භාවිතා කෙරේ. මෙම ඉදීකිරීමේ පළමු අදියර සදහා මිලියන 50 ක මුදලක් වෙන් වූ අතර සමස්ත ව්‍්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුදල මිලියන 70කි.
1975 පෙබරවාරි 16 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් “කුමාරි”, “නිලා”, “කදිරා”, “විජය” සහ “මාතලී” යන අනාථ අලි පස් දෙනෙකුගෙන් පින්නවල අලි අනාථාගාරය ආරම්භ කෙරිණි.ආසියානු අලින් සංරක්ෂණය හා අභිජනනයේ ජාතික මධ්‍යස්ථානයක් වන පින්නවල අලි අනාථාගාරය විසින් ආසියානු අලින් සංරක්ෂණය, අභිජනනය, සත්ත්ව සුබසාධනය, අධ්‍යාපනය හා පර්යේෂණ කාර්යයන් සහ සංචාරක ව්‍යාපාරය යන අරමුණු වෙනුවෙන්ක්‍රියාත්මක කෙරේ.
1984 වර්ෂයේදී “විජය” හා “කුමාරි” යන අලින්ගෙන් උපන් “සුකුමලී” අලි පැටවා අලි අනාථාගාරයේ පළමු උපත ලෙස වාර්තා වූ අතර එතැන් සිට මේ වන විට ස්වාභාවික අලි උපත් 76ක් සාර්ථකව සිදු වී ඇත. 2021 වර්ෂයේදී අනාථාගාරයේ ප්‍රථම නිවුන් අලි උපත ද වාර්තා වීම විශේෂ සිදුවීමකි. වර්තමානයේ පිරිමි අලි 27ක් හා ගැහැණු අලි 38ක් ඇතුළුව අලි 65 දෙනෙකු අනාථාගාරයේ රැකවරණය ලබති. ආරම්භක අලි පස් දෙනා අතරින් “කුමාරි” (වයස 61), “මාතලී” (වයස 56) හා “නිලා” (වයස 53) තවදුරටත් රැකවරණය යටතේ ජීවත්වන අතර “මාතලී” කෙනෙර අලි රංචුවට නායකත්වය සපයයි.
51 වන සංවත්සරය සමගාමීව ඇරඹි මෙම නිදහස් අරණෙහි පළමු සාමාජිකයා ලෙස මංගල අලියා එම ස්ථානයට එක් කිරිම ද අද දින සිදූ වූ අතර පැළ සිටුවීමක්ද ක්‍රියාත්මක විය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය දම්මික පටබැදි, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් යන මහත්වරුන්, පරිසර අමාතයාංශයේ නිලධාරීන් , පින්නවල අලි අනාථාගාරයේ නිලධාරීන් , පෙර පාසල් දරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.































