අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් කෙටි කතා පොත් සහ ත්‍රිභාෂා පොත් පුස්තකාල වෙත බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන යටතේ සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කරන ලද කෘති පුස්තකාල වෙත ලබාදීම සිදු කෙරේ.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පුරවැසියන්ට තමන් කැමති භාෂාවකින් පොතක් කියවීමට සහ එහි අන්තර්ගතය අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා දීමයි. ඒ මඟින් ආගමික, සංස්කෘතික හා භාෂාමය වශයෙන් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

ඒ අනුව, විරාජිනී තෙන්නකෝන් මහත්මියගේ “Blind and Suruttu Theory” කෙටි කතා සංග්‍රහය දෙමළ භාෂාවටත්, මණ්ඩු අශෝකා මහත්මියගේ “Eludappada Kavidehal” කෘතිය සිංහල භාෂාවටත් පරිවර්තනය කර ඇත.

මෙම පොත් තොගය ප්‍රාදේශීය පාලන ආයතනවල පුස්තකාල වෙත භාරදීමට නියමිත අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු දෙදෙනෙකු විසින් අද (25) පස්වරුවේ එම පොත් කෑගල්ල දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත භාරදෙන ලදී.

මෙම වැඩසටහන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රදාන මත ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර නිලධාරිනී ඉන්දිකා වීරවර්ධන මහත්මිය විසින් සම්බන්ධීකරණය කරන ලදී.