අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන අපනයන කෘෂිකර්ම (10) වැඩසටහන යටතේ පවත්වාගෙන යන පොකුරු ගම්මානවැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, භූමි හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කැගල්ල, දඩිගම ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ජාතික අපනයන කෘෂිකර්ම වැඩසටහන සමඟ සම්බන්ධව මෙම ක්ලස්ටර් ගම්මාන ක්‍රමය ආරම්භ කර ඇත. මෙම වසර තුළ කැගල්ල දිස්ත්‍රික්කයේ ක්ලස්ටර් ගම්මාන 20ක් ආරම්භ කිරීමට නියමිත අතර රට පුරා ගම්මාන 200ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එය 2030 වනවිට ගම්මාන 500ක් දක්වා වැඩි කිරීම අපේක්ෂිතය. එසේම 2030 වනවිට මසාලා අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ඉලක්කයක් ලබාගැනීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ වේ.
මෙම ක්ලස්ටර් ගම්මාන වැඩසටහන පිළිබඳ අවබෝධය ලබාදීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් උපුල් රණවීර මහතා විසින් සිදු කරන ලදී. ඒ අනුව, තෝරාගත් මෙම ගම්මානවල අපනයන කෘෂිකර්ම නිෂ්පාදන සංගම් ස්ථාපිත කර ඒවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ඇත. එසේම, පළමු වසර දෙක තුළ නිෂ්පාදන හැකියාව වැඩි කිරීම සඳහා මූලික වගා තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කෙරේ. ඉන්පසු නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සහතික සහ අගය එකතු කළ නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ විදේශ වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීම සඳහා අවස්ථාව සලසා දෙනු ඇත.
මෙම යෝජනා ක්‍රමය යටතේ අපනයන කෘෂිකර්ම ක්ෂේත්රය උසස් මට්ටමින් සංවර්ධනය කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමින් පවත්වා ගැනීම සහ ප්‍රදේශයේ මසාලා නිෂ්පාදනය ප්‍රමිතියට අනුව සකස් කිරීම අරමුණු කර ඇත. එසේම මසාලා කර්මාන්තයට සම්බන්ධ කාර්යභාරකරුවන්, නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් එකම කණ්ඩායමක් ලෙස එකතු කිරීමද මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
මෙම අවස්ථාවේදී සංකේතවත් ලෙස වගා පැළ, අපනයන පැළ සහ සහතිකපත් බෙදාදීමද කෘෂිකර්ම, පශු සම්පත්, භූමි හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කැගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා, කැගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා, කැගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂතුමා, පේරාදෙණිය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කෘෂිකර්ම ක්ෂේත්රයේ නිලධාරීන්, අපනයන භෝග වගාකරුවන් සහ අපනයන කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ පිරිසක් සහභාගී වූහ.





























