ඉදිරි දකුණු-බස්නාහිර මෝසම් තත්ත්වයට සූදානම් වීමේ අරමුණින්, කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හා පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි, සබරගමුව පළාත් ආණ්ඩුකාරිනී චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපය තුළ අඛණ්ඩ මෝසම් වැසි පවතිනු ඇතැයි කළ අනාවැකි අනුව, දිස්ත්‍රික්කයේ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා වන සූදානම් කටයුතු, හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, ආපදා පසු තත්ත්වයන් යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ හදිසි ආපදා අවස්ථාවකදී දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව හා උපකමිටු සක්‍රීය දායකත්වය ලබාගැනීම මෙම කමිටු රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.
ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් ප්‍රදේශ ලෙස රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 15ක්, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 30ක්, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 6ක් සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 7ක් හඳුනාගෙන ඇත.
අඟල් 20කට අධික ජල මට්ටමක් ඇතිවන ප්‍රදේශ සඳහා දිස්ත්‍රික්කයේ මෝටර් බෝට්ටු 6ක් ස්ථාපිත කර ඇති අතර, හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඒවා ස්ථානගත කළ යුතු ස්ථාන පිළිබඳව නාවික හමුදා මූලස්ථානයට යෝජනා ඉදිරිපත් කර ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඉදිරි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ගංගා ආශ්‍රිත අවදානම් සහ ජල මට්ටම් ඉහළ යාමේ අවස්ථා සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය අඛණ්ඩව ජනතාව දැනුවත් කිරීම සිදුකරන අතර, www.irrigation.lk වෙබ් අඩවිය ඔස්සේ එම තොරතුරු ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවත්, ඉදිරියේදී කෑගලු විද්‍යාලය ආසන්නයේ ජල මිනුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත බවත් සඳහන් විය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 36%ක් පමණ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට, දැරණියගල සහ දෙහිඕවිට ප්‍රදේශවල කොටස් දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත එම ප්‍රදේශ පිළිබඳ දැනුම්දී ඇත. මිලිමීටර් 75කට අධික වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවලදී එම ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.
පළාත් පාලන ආයතන, මාර්ග සංවර්ධන අධිකාරිය, රාජ්‍ය දැව සංස්ථාව, සහකාර කොමසාරිස් කාර්යාලය, පොලිසිය, යුද හමුදාව, ආපදා සහන සේවා දෙපාර්තමේන්තුව, නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ආයතන නියෝජිතයින් මෙම අවස්ථාවේදී හදිසි ආපදා තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීම සඳහා ගෙන ඇති පූර්ව සූදානම් පිළිබඳව අදහස් දැක්වූහ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින්, සබරගමුව පළාත් සභා ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, කෑගල්ල දිශාවේ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීන් සහ ආපදා විෂයයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

































