රත්නපුර, කුරුණෑගල, මහනුවර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. 2025 වසරට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු අවදානම වැඩිවීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

ඒ අනුව 2026.05.21 දින ඩෙංගු අවදානම ඉහළ යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරතුමිය චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ වත්මන් ඩෙංගු ව්‍යාප්තිය සහ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කීට විද්‍යාඥ ටී.කේ.සී. වික්‍රමසිංහ මහතා නිලධාරීන් දැනුවත් කළේය.

ඔහු සඳහන් කළේ 2025 වසරට සාපේක්ෂව 2026 වසරේ ආරම්භයේ සිටම රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. තවමත් අවදානම් තත්ත්වය පහව ගොස් නොමැති අතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 11 අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙතෙක් කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලින් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වුවද, 2026.05.20 දින වන විට දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් රෝගීන් 174 දෙනෙකු වාර්තා වී තිබේ. මේ වන විට දෙහිඕවිට ප්‍රදේශයේ රෝගීන් පොකුරු මට්ටමින් වාර්තා වීම හේතුවෙන් එය ඉතා භයානක තත්ත්වයක් බවත්, ඒ සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

2026.05.20 දින වන විට දෙහිඕවිට තල්දූව ප්‍රදේශයෙන් පමණක් රෝගීන් 50 දෙනෙකු වාර්තා වී ඇත. පසුගිය දිනවල ඇති වූ ගංවතුර හා පස් කඳු කඩාවැටීම් හේතුවෙන් එම ප්‍රදේශවල තෙත් පරිසරයක් ඇතිවීම ඩෙංගු ව්‍යාප්තියට බලපා ඇති අතර, ඉහළ ප්‍රදේශවල රෝගීන් පොකුරු තත්ත්වයක් ඇතිවීමටද එය හේතුවක් වී ඇති බව සඳහන් විය.

දිස්ත්‍රික්කය තුළ සිදුකරන ලද කීට විද්‍යා සමීක්ෂණවලට අනුව මැයි මාසයේදී ඩෙංගු වාහක මදුරු ඝනත්වය 11%ක් ලෙස වාර්තා වී ඇත. එනම් සෑම නිවාස 10කින් එකකම ඩෙංගු මදුරුවන් බෝවන පරිසර පවතින බවයි. පසුගිය වසරේ කිසිදු ප්‍රදේශයක මෙවැනි තත්ත්වයක් වාර්තා වී නොමැති බවද සඳහන් විය.

මෙම තත්ත්වය නිසි ලෙස පාලනය නොකළහොත් විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමේ අවදානමක් පවතින බවද පෙන්වා දෙන ලදී. දෙවන සහ තෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ වරකාපොල සහ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලිනි.

ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු විශේෂ දෙකක් වන “Aedes aegypti” සහ “Aedes albopictus” පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ඉන් “Aedes aegypti” මදුරුවා ප්‍රධාන වාහකයා වන අතර, වසංගත තත්ත්වයක් ඇති කිරීමේදී ඉතා භයානක ලෙස ක්‍රියාකරයි. අනෙක් වාහකයා වසංගත තත්ත්වය පවත්වාගෙන යාමට දායක වේ.

දෙහිඕවිට, මාවනැල්ල සහ කෑගල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුන තුළ මෙම වාහක මදුරුවන්ගේ ඝනත්වය වැඩිවී ඇති බවද අනාවරණය විය.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුබද්ධ නිලධාරීන් 7 දෙනෙකු විසින් පරිශ්‍ර 15,000කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර ඇති අතර, ඉන් පරිශ්‍ර 847ක ඩෙංගු මදුරු වාසස්ථාන හඳුනාගෙන ඇත. රජයේ ආයතන, පෞද්ගලික ආයතන සහ පාසල්වල සෑම පරිශ්‍ර 5කින් එකක්ම ඩෙංගු ව්‍යාප්තියට හේතු වන ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ.

විශේෂයෙන් රජයේ ආයතනවල 50%ක ඩෙංගු මදුරු ව්‍යාප්තියක් හඳුනාගෙන ඇති අතර, මිනිස් වාසස්ථානවල එය 5%ක් පමණි. ආගමික ස්ථානවලද ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව විශේෂයෙන් අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කීට විද්‍යාඥ ටී.කේ.සී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,

“මාවනැල්ල, කෑගල්ල සහ දෙහිඕවිට යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුන ඩෙංගු වසංගත අවදානම් තත්ත්වයක පවතිනවා. දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ඩෙංගු තත්ත්වය පසුගිය වසරට වඩා වැඩිවී තිබෙනවා. විශේෂයෙන් තල්දූව ප්‍රදේශයට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රධාන වාහක මදුරුවන්ගේ වර්ධනය ඉදිරි සති දෙක තුළ වැඩි විය හැකි බවට ලකුණු පෙනෙනවා. එය ජනගහනය වැඩි නාගරික මධ්‍යස්ථානවලින් වාර්තා වීම විශාල අවදානමක්. මාවනැල්ල, මාවතගම, ඉඹුල් ප්‍රදේශවල ඩෙංගු අවදානම ඉහළ ගියහොත් ඉදිරි මාස 2-3 තුළ එය පාලනය කිරීම ඉතා අපහසු වේවි.

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනට දිනපතා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. විශේෂයෙන් පරීක්ෂා කළ රජයේ ආයතන 24කින් 12කම ඩෙංගු මදුරු වාසස්ථාන හඳුනාගෙන තිබුණා. ඇතැම් ස්ථානවල Aedes aegypti මදුරුවන් හඳුනාගෙන තිබීම ඉතා ඉහළ අවදානම් තත්ත්වයක්.” යනුවෙනි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සහාය ඇතිව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 11ම ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.

ඒ අනුව දුම් ගැසීම් වැඩි කිරීම, පරිශ්‍ර පරීක්ෂා කිරීම, කීට විද්‍යා සමීක්ෂණ, ජලය රැඳෙන භාජන ඉවත් කිරීම, රෝගීන් හඳුනා ගැනීම, ගංවතුරින් බලපෑමට ලක් වූ තල්දූව වැනි ප්‍රදේශවල ජලය රැඳී ඇති ස්ථාන ඉවත් කිරීම, සෑම ආයතනයකින්ම ඩෙංගු නිරීක්ෂණ නිලධාරීන් නම් කිරීම, පාසල් සහ රජයේ ආයතනවල පරිශ්‍ර නිසි ලෙස නඩත්තු කිරීම, ගබඩා තුළ භාණ්ඩ නිසි ලෙස ගබඩා කිරීම ආදී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම සාකච්ඡාවේ අවසානයේ සබරගමුව පළාත් ආණ්ඩුකාරතුමිය, දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ පළාත් පාලන ආයතන එක්ව ඉදිරි දින කිහිපය තුළ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.

මෙම අවස්ථාවට දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ගරු නගරාධිපතිතුමා, පළාත් සභා සභාපතිතුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසුම් බණ්ඩාර (රාජ්‍ය), අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත (ඉඩම්), සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු නිලධාරීහු සහභාගී වූහ