කෑගල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳි මහතාගේ සහ කෑගල්ල දිස්ත්රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ මූලිකත්වයෙන්, 2027 – 2030 කාලසීමාව සඳහා කෑගල්ල දිස්ත්රික් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ දිස්ත්රික් සැලසුම් කමිටු රැස්වීම පැවැත්විණි.
2027 සිට 2030 දක්වා වසර හතරක කාලසීමාව තුළ කෑගල්ල දිස්ත්රික්කයේ සංවර්ධනය සඳහා සියලු පාර්ශ්වයන් එක් අරමුණක් යටතේ ඒකාබද්ධ කරමින් නිශ්චිත හා සාර්ථක ප්රතිඵල අත්කර ගැනීම මෙම ඒකාබද්ධ සංවර්ධන සැලැස්මේ ප්රධාන අරමුණ වේ.
“සමෘද්ධිමත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික ප්රතිපත්ති රාමුවට අනුව කෘෂිකර්මාන්තය, වෙළඳ හා කර්මාන්ත, යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, පරිසර කළමනාකරණය, සමාජ ආරක්ෂාව, සන්නිවේදනය, තාක්ෂණය හා පර්යේෂණ මෙන්ම යහපාලනය යන ක්ෂේත්ර මෙම ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම තුළ විශේෂ අවධානයට ලක් කර ඇත.
එමෙන්ම දිස්ත්රික්කය තුළ මෙතෙක් සම්පූර්ණ කර නොමැති විශේෂ සංවර්ධන වැඩසටහන් සඳහා ජාතික මට්ටමේ අවධානය ලබාගැනීම, අයවැය ප්රතිපාදන ලබා ගැනීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කිරීම, ආයතන අතර සම්බන්ධීකරණය හා ව්යාපෘති ඒකාබද්ධ කිරීම මගින් සම්පත් අපතේ යාම අවම කිරීම, දිස්ත්රික්කයේ පොදු හා විශේෂ ගැටලු, බාධක, අනාගත දැක්ම සහ අපේක්ෂිත ඉලක්ක හඳුනාගෙන ඒවා කරා ළඟා වීම සඳහා යෝග්ය ක්රියාමාර්ග සැලසුම් කිරීම ද මෙම සැලැස්මේ ප්රධාන අරමුණු අතර වේ.
ග්රාමීය හා නාගරික සංවර්ධනය අතර පවතින විෂමතා අවම කිරීම, දරිද්රතාවය සහ බහුමාන දරිද්රතාවය තුරන් කිරීම, සමාජ සාධාරණත්වය ප්රවර්ධනය කිරීම, ජාතික සංවර්ධන ක්රියාවලියට සක්රීය දායකත්වයක් ලබාදීම, පාරිසරික සුරක්ෂිතතාව තහවුරු කිරීම, දේශගුණික විපර්යාසවලට වඩාත් කාර්යක්ෂමව ප්රතිචාර දැක්වීම සහ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සම්බන්ධයෙන්ද මෙම සැලැස්ම තුළ විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, දිස්ත්රික් දේශපාලන අධිකාරිය, සබරගමුව පළාත් සභා නිලධාරීන්, අතිරේක දිස්ත්රික් ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂවරුන්, ආරක්ෂක අංශ නිලධාරීන්, දිස්ත්රික්කයේ රාජ්ය ආයතන ප්රධානීන් ඇතුළු රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.























