ජාතික ශිෂ්‍ය භට බලකායේ 9 වන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නිලධාරීන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අද (29) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අලංකාර නර්තන අංගයන්ගෙන් ආරම්භ වූ මෙම උත්සවයේ අරමුණ පිළිබඳව ජාතික ශිෂ්‍ය භට බලකායේ 9 වන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ආර්. අශෝක මහානාම මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
දේශයට හා ජාතියට සේවය කිරීමට සූදානම්, දැනුම, ආකල්ප, කුසලතා සහ දක්ෂතා වලින් පිරිපුන් තරුණ තරුණියන් පිරිසක් ගොඩනැගීමේ අරමුණින් මෙම නිල ලාංඡන පැළඳවීම සිදු කරන ලදී.
කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ජාතික ශිෂ්‍ය භට බලකායේ පළාත් අධ්යක්ෂ කර්නල් සුජීව සමන්ප්රිය මහතා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් යුතුව යුද හා පොලිස් අංශ නියෝජනය කරන ශිෂ්‍යයන් 35 දෙනෙකු සඳහා නිල ලාංඡන පැළඳවීම මෙහිදී සිදු විය.
2026 වර්ෂයේ ජාතික ශිෂ්‍ය භට බලකායේ 9 වන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නිලධාරීන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සාර්ථකව සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබාදුන් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂවරුන්ට, පළාත් අධ්‍යක්ෂවරුන්ට සහ අනෙකුත් සියලුම පාර්ශ්වයන්ට මෙහිදී ස්තූතිය පළ කෙරිණි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ 9 වන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ආර්. අශෝක මහානාම මහතා සඳහන් කළේ,
"රටේ තරුණ ප්‍රජාව තුළ විනය, නායකත්වය සහ පෞරුෂත්වය වර්ධනය කරමින් අනාගතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි මානව සම්පතක් බිහිකිරීම ජාතික ශිෂ්‍ය භට බලකායේ ප්‍රධාන අරමුණයි. කාර්යක්ෂම, ක්‍රියාශීලී හා විනයගරුක නායකත්වයක් බිහිකිරීම අපගේ දැක්ම වන අතර ඒ සඳහා අවශ්‍ය ඩ්‍රිල් පුහුණුව, රෙජිමේන්තු රාජකාරි, ප්‍රථමාධාර, සිතියම්කරණය ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක පුහුණුව ලබාදෙනවා." යනුවෙනි.
තවද, අද දින විසිර යන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලබන වසරේ නව බලකා කඳවුර සාර්ථකව පැවැත්වීම සඳහා ලැබෙනු ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළ කළේය.
මෙම අවස්ථාව සඳහා ජාතික ශිෂ්‍ය භට බලකා නිලධාරීන්, හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, ආදි ශිෂ්‍යභටයින්, කෑගල්ල දිස්ත්‍රික් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, නිල ලාංඡන ලබාගත් ශිෂ්‍යයන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.























