කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (29) දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ක්ෂේත්රයේ පවතින ගැටලු කඩිනමින් විසඳා, ජනතාවට කාර්යක්ෂම හා විධිමත් ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී පාඩු ලබමින් ධාවනය වන බස් මාර්ග, ඩිපෝ මගින් මාසිකව උපයන ආදායම් හා ලාභ තත්ත්වයන්, බස් රථ ධාවන කාලසටහන්වල පවතින ගැටලු ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරිණි. එමෙන්ම බස් රථ නියමිත පරිදි ධාවනය නොවීම සහ ගමනාන්තය දක්වා සේවාව සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර, ඒ පිළිබඳ ඩිපෝ කළමනාකරුවන් විසින් අදහස් හා කරුණු ඉදිරිපත් කරන ලදී.
බස් ගමනාගමන සේවාව සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙන ගැටලු අඛණ්ඩව පවත්වාගෙන යාම වැළැක්වීම සඳහා ඉදිරියේදී හැකි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.
ඩිපෝ කළමනාකරුවන් මුහුණ දෙන කළමනාකරණ ගැටලු විසඳා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායීතා නිලධාරීන්ගේ සහාය ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.
තවද, පාඩු ලබන මාර්ගවල ජනතාවට අඛණ්ඩ සේවාවක් සැපයීමත්, ඩිපෝවල ආදායම් වැඩිදියුණු කිරීමත් අරමුණු කර ගනිමින්, සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත ඒකාබද්ධ ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ, නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂවරුන්, ඩිපෝ ධාවන කළමනාකරුවන්, ඉංජිනේරු කළමනාකරුවන්, ප්‍රවාහන ක්ෂේත්රයට අදාළ ආයතනවල නිලධාරීන් සහ තවත් පිරිසක් සහභාගී වූහ.
























