ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන උඩරට වතු ප්‍රජාව (මලයගම් ප්‍රජාව) නියෝජනය කරන පාසල් දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් වතු පාසල්වල විදුහල්පතිවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජී. එස්. නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන වතු පාසල් විශාල සංඛ්‍යාවක් පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වතු පාසල් පද්ධතියේ පවතින ගැටලු හඳුනාගෙන, ඒවාට කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී කෑගල්ල, මාවනැල්ල සහ දෙහිඕවිට අධ්‍යාපන කලාපවල පවතින ගුරු පුරප්පාඩු, වතු පාසල්වල මේස හා පුටු ඇතුළු මූලික පහසුකම්වල හිඟය, පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම කලා අංශය (A/L Arts Stream) ඇතුළු විෂය ක්ෂේත්‍රවල ගුරු පත්වීම් සහ පවතින ගුරු පුරප්පාඩු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමද සිදු වූ අතර, දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන්ට තම ගැටලු සෘජුව ඉදිරිපත් කර ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද අවස්ථාව හිමි විය.
එසේම වරකාපොළ මාදෙනිය වතු පාසලේ හින්දු සංස්කෘතික අධ්‍යාපනය උසස් මට්ටමකට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම, ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා පැවැත්වීම සහ අදාළ ව්‍යාපෘති වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගැනීම පිළිබඳව ද මෙහිදී එකඟතාවකට පැමිණිණි.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා, දිස්ත්‍රික් හා කලාප අධ්‍යාපන කාර්යාලවල අධ්‍යක්ෂවරුන් සහ වතු පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

























