පොසොන් මහා මංගල්‍යය නිමිත්තෙන් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන "සත් යාලෝක" කෑගලු පොසොන් කලාපයේ පළමු දිනයේ වැඩසටහන් ඊයේ (29) කෑගල්ල නිදහස් මාවත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.

කුණ්ඩලකේසී චරිත කථාව තේමා කරගත් අලංකාර තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය හා තරග, බක්ති ගී ප්‍රසංග, බෞද්ධ නාට්‍ය, දන්සැල්, සිල් වැඩසටහන් ඇතුළු ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වුණු අතර, ඒවා නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් කෑගල්ල නිදහස් මාවත වෙත පැමිණ සිටියහ.

මෙම "සත් යාලෝක" කෑගලු පොසොන් කලාපය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කෑගල්ල මහ නගර සභාව, සබරගමුව පළාත් සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, මූල්‍ය ආයතන සහ අනුග්‍රාහක ආයතනවල දායකත්වයෙන් සංවිධානය කර තිබිණි.

වෙසක් කූඩු තරගය සඳහා කූඩු 50කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබූ අතර, බක්ති ගී ප්‍රසංගයේ පළමු දිනය සඳහා කණ්ඩායම් 10ක් සහභාගි වූහ. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කළ බෞද්ධ නාට්‍ය දෙකක් ද වේදිකාගත කෙරිණි.

කුණ්ඩලකේසී චරිත කථාව තේමා කරගත් විශේෂ තොරණ සඳහා ඩී. ඩී. අතුකෝරළ සමූහ ව්‍යාපාරය පූර්ණ අනුග්‍රහය ලබාදී තිබූ අතර, ශ්‍රී ලතා ජුවලර්ස්, සුභාග්‍යා සමූපකාර බැංකුව, කේම්බ්‍රිජ් ජාත්‍යන්තර පාසල, රියදුරු පාසල් හිමියන්ගේ සංගමය, ලංකා බැංකුව, ආයුර්වේද වෛද්‍ය සේනරත් බණ්ඩාර, ධ්‍යානන්ද කුමාරසිංහ, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව, අයිලන්ඩ් (පුද්ගලික) සමාගම සහ වෙලිගම ස්ටෝර්ස් ඇතුළු ආයතන රැසක් සම අනුග්‍රහය දක්වා තිබිණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික නායකයන්, පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සාගරිකා ගංගනී අතුකෝරළ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා ඇතුළු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කෑගල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන නිලධාරීන්, අනුග්‍රාහකයන්, බැතිමතුන් සහ විශාල ජනතාවක් සහභාගි වූහ.