කෑගල්ල නගරයේ පවතින ජල නළවලින් ජලය කාන්දු වීම සුලභ දසුනක් බවට පත්ව ඇත. එවැනි කාන්දුවීම් අලුත්වැඩියා කිරීම සඳහා නඩත්තු කටයුතු සිදු කරන සෑම අවස්ථාවකම ජල සැපයුම තාවකාලිකව සීමා කිරීමට සිදුවන අතර, එමඟින් නගරය හා අවට ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්වෙති. තවද, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග සංවර්ධන කටයුතු අතරතුර ද මෙම ජල කාන්දුවීම් හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇත.
දැනට පවතින ජල නළ පද්ධතිය විධිමත් සැලසුමකින් තොරව ස්ථාපිත කර ඇති බැවින්, ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළද නැවත නැවතත් ජලය කාන්දු වීම සිදුවේ. මෙම ගැටලුවට දිගුකාලීන විසඳුමක් ලෙස කෑගල්ල නගරය තුළ නව ජල නළ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හා සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඊයේ (17) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතාගේ සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කෑගල්ල නගරයේ දැනට ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයේ විද්‍යාල මාවත ආරම්භයේ සිට කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය දක්වා මාර්ගයේ දෙපස නව ජල නළ එලීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට නියමිත අතර, එය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවට හා වෙළඳ ප්‍රජාවට සිදුවිය හැකි අපහසුතා අවම කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
ජල නළ එලීමේ කටයුතු පස්වරු 6.00 සිට පෙරවරු 6.00 දක්වා කාලය තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් මහජනතාවට සිදුවන බාධා අවම කිරීම අපේක්ෂා කෙරේ. අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මාස හයක කාලයක් තුළ අවසන් කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සාගරිකා ගංගානි අතාවුද මහත්මිය, කෑගල්ල නගරාධිපතිතුමන්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්නපුර පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු එම මණ්ඩලයේ නිලධාරීන්, සහකාර සැලසුම් අධ්යක්ෂ ජනනී මධුරසිංහ මහත්මිය, මාර්ග සංවර්ධන අධිකාරිය, කෑගල්ල පොලිසිය, ශ්‍රී ලංකා ටෙලිකොම්, වෙළඳ සංගම්, ත්‍රිරෝද රථ සංගම් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
























