දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව යටතේ ක්‍රියාත්මක වන අනුකමිටුවක් වන දිස්ත්‍රික් සැලසුම් කමිටුව ඊයේ (01) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.

දිස්ත්‍රික් සැලසුම් කමිටුව මසකට වරක් රැස්වෙමින් සංවර්ධන යෝජනා හඳුනාගැනීම ඇතුළු අරමුණු කිහිපයක් ඔස්සේ කටයුතු කරනු ලබන අතර, මෙවර රැස්වීමේදී ද වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මේ වන විට මෙම වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ව්‍යාපෘති 1,177ක් ක්‍රියාත්මක වෙමින් පවතී. විමධ්‍යගත අයවැය වැඩසටහන්, ප්‍රජා ශක්ති වැඩසටහන්, වතු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති සහ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. මෙම ව්‍යාපෘතිවල ප්‍රගතියට බලපා ඇති ගැටලු හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත්, සමස්ත ව්‍යාපෘති ප්‍රගතිය 60% දක්වා ඉහළ නැංවීමත් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයන්ට ලක්වූ පවුල් සඳහා නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. ඉහළ අවදානම් කලාපවල පිහිටි නිවාස සහ සම්පූර්ණයෙන් හානි වූ නිවාස සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

අස්වැසුම වැඩසටහනේ පළමු හා දෙවන අදියර, සමෘද්ධි වැඩසටහන්, දිස්ත්‍රික් මට්ටමේ කෘෂිකාර්මික කටයුතු සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ක්‍රියාත්මක සිව් අවුරුදු උපායමාර්ගික සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර අටක් ආවරණය වන පරිදි කමිටු මේ වන විට ස්ථාපිත කර ඇත. එම කමිටු මගින් අවශ්‍ය යෝජනා සකස් කිරීම සහ අදාළ සාකච්ඡා සිදුකරමින් පවතින අතර, එහි වත්මන් ප්‍රගතිය ද රැස්වීමේදී සමාලෝචනය කෙරිණි.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කෑගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සංකල්ප යෝජනාව සහ කෑගල්ල නගර මධ්‍ය නාගරික උද්‍යාන සංවර්ධන සැලැස්ම සඳහා මේ වන විට අනුමැතිය ලබාදී ඇති බව ද මෙහිදී සඳහන් කෙරිණි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යටතේ මෙම වර්ෂයේ ව්‍යාපෘති 8ක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන් ව්‍යාපෘති 3ක් මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර, තවත් ව්‍යාපෘති 2ක් 50%ක ප්‍රගතියක් අත්කරගෙන ඇත. යෝජිත යටිමහන ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මෙම ව්‍යාපෘතිය මගින් පවුල් ලක්ෂ 10කට පමණ ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂා කෙරේ.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ජුනි මාසයේ සිට අතහැර දමා ඇති සහ කිරි කැපීම සිදු නොකරන පරිණත රබර් වගාවන් යළි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. මේ වන විට හෙක්ටයාර් 100කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව සඳහන් කෙරිණි.

වසරේ වැඩි කාලයක් කෑගල්ල දිස්ත්‍රික්කයට බලපාන වර්ෂාපතනය හේතුවෙන් රබර් කිරි කැපීම අඩු මට්ටමක පවතින බැවින්, වැසි ආවරණ (Rain Guards) භාවිත කරමින් රබර් කිරි කැපීම ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.

මේ අතර, වසර තුනක් තුළ දිවයින පුරා පොල් ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ අරමුණින් ජාතික පොල් දිනය සැමරුම අද දින පැවැත්වේ. කෑගල්ල දිස්ත්‍රික් මට්ටමේ සැමරුම් උත්සවය අද දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

ඉහත කරුණු වලට අමතරව, දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන විවිධ ආයතන සහ රජයේ දෙපාර්තමේන්තුවල ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

ව්‍යාපෘති ප්‍රගතිය අඩු මට්ටමක පවතින ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් කිරීමේ අවශ්‍යතාව මෙන්ම නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කෙරිණි.

පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි, දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ සාමාජිකයින්, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජේ. එම්. යූ. කේ. ජයසේකර, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඉන්දික සෙනරත්න, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ තවත් නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.